මත් පෙති 740ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට පත්වේ

බටහිර නාවික විධාන‍යට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් වැල්ලවීදිය වෙරළ ආසන්නයේදී ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ තහනම් මත් පෙති (Tramadol Capsules) 740ක් සමග සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව පොලීසියේ සහාය ඇතිව අගෝස්තු මස 31 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් මත් පෙති හා පුද්ගලයින් දෙදෙනා, ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රීරෝද රථය ද සමග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලීසිය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසහන සාර්ථක කර ගැනීම සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදෙන නාවික හමුදාව, ගොඩබිමේ හා මුහුදේ සිදුවන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිමින් එම ජාවාරම් මැඩළීමට කටයුතු කරනු ලබයි.