“රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් (Non-state Actors) සහ මිශ්‍ර සංග්‍රාම (Hybrid Warfare)” පිළිබඳව අද්මිරාල් කොළඹගේ මහතාගෙන් විශේෂ දේශනයක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ආරාධනයකට අනුව හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් “රාජ්‍ය නොවන ක්‍රියාකරුවන් සහ මිශ්‍ර සංග්‍රාම” පිළිබඳ දේශනයක් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී අද (03) දින පවත්වන ලදී. එම අවස්ථාවට නාවික හමුදාධිපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ඇතුළු නාවික නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී විය.

එම දේශනයේදී, වර්තමානයේ රාජ්‍ය නොවන ක්‍රියාකරුවන්ගේ භූමිකාවන් පිළිබඳව හා අන්‍යෝන්‍ය සහයෝගීතාවයන් මත රඳා පවතින සමස්ත ගෝලීය සමාජයට ඔවුන් ඇති කරන ධනාත්මක සහ සෘණාත්මක බලපෑම් පිළිබඳව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සවිස්තරව කරුණු විග්‍රහ කෙරිණි. තවද අද්මිරාල්වරයා, එහිදී මිශ්‍ර සංග්‍රාම වල ස්වභාවය සහ එමගින් ලෝක සාමයට සිදු කෙරෙන තර්ජනයන් සහ බලපෑම් මෙන්ම ඒවා මැඩපැවැත්වීම සඳහා නිර්මාණශීලි හා නම්‍යශීලී සංග්‍රාමික හැකියාවන් සංකලනය කලයුතු ආකාරය පිළිබඳව ද අදහස් දක්වන ලදී.  
 
දේශනය අවසානයේදී, පැමිණ සිටි නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව නාවික නිලධාරීන්ගේ දැනුම වර්ධනය කර ගැනීම සඳහා තවදුරටත් මෙවැනි දේශනයන් සංවිධානය කළ යුතු බව සඳහන් කළේය. මෙම හරවත් දේශනය පැවැත්වීම සඳහා තමන් කළ ආරාධනය පිළිගැනීම පිළිබඳව අද්මිරාල් කොළඹගේ මහතාට ස්තූතිවන්ත වන බව ප්‍රකාශ කරන ලද නාවික හමුදාධිපතිතුමා මෙම දේශනය පැවැත්වීමට ඉදිරිපත්වීම අගයමින් අද්මිරාල් කොළඹගේ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.