නාවික හමුදාධිපතිතුමා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඓතිහාසික නිල සංචාරයක නිරත වෙයි


ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණ නිර්මාතෘවරයා වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 2015 සැප්තැම්බර් මස 06 වන දින ත්‍රිකුණාමළයේ පිහිටි වි‍ශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඓතිහාසික නිල සංචාරයක නිරත විය.

එම ඓතිහාසික නිල සංචාරය නාවික හමුදාධිපතිතුමාට මෙන්ම, විශේෂ යාත්‍රා බලඝණයට ද වැදගත් විය. විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ කර, විශේෂ බලකා පුහුණුව ලබා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහලම තනතුර හෙබවීමෙන් ඉතිහාස ගතවීමට හැකිවූ ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණ නිලධාරියා ලෙස බලඝණ මූලස්ථානයට පැමිණීම නාවික හමුදාධිපතිතුමාටත්, බලඝණය නිර්මාණය කිරීමට පුරෝගාමී වූ නාවික හමුදාධිපතිතුමා ඔවුන්ගේ මූලස්ථානයට පැමිණීමේදී පිළිගැනීමට ලැබීම එහි සාමාජිකයන්ටත් ඉතා වැදගත් අවස්ථාවක් විය.

මෙහිදී, මව්බිම ආරක්ෂා කරලීම සඳහා සිය දිවි පිදූ විශේෂ යාත්‍රා බලඝණ රණවිරුවන්ට ගෞරවයක් ලෙස සහ සංග්‍රාම භූමියේ ඔවුන් ප්‍රදර්ශණය කරන ලද එඩිතරබව හා නිර්භීතභාවයට බුහුමන් දැක්වීමක් ලෙස මිනිත්තුවක නිහඞතාවයක් පවත්වනු ලැබිණි. මව්බිමේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කරලීම සඳහා දිවි පිදූ විශේෂ යාත්‍රා බලඝණ විරුවන් 48 දෙනෙකු මෙලෙස ගෞරවයට පාත්‍ර විය. ගෞරව ලද වික්‍රමාන්විත විශේෂ යාත්‍රා බලඝණ විරුවන් අතර එල්ටීටීඊ මරාගෙන මැරෙන යාත්‍රාවක් සමග සටන් කිරීමේදී විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා සිය දිවිපිදීම වෙනුවෙන් පරම වීර වීභූෂණයෙන් පිදුම් ලද ප්‍රධාන සුළු නිලධාරී කේජී ශාන්ත සහ විශේෂ යාත්‍රා බලඝණයේ වීර වික්‍රම විභූෂණ පදක්කමින් පිදුම් ලද සටනේදී දිවි පිදූ ලුතිනන් කොමාණ්ඩර් එස්ඩබ්ලිව් ගාල්ලගේ රණවිරුවාද වේ. ඔහු බලකායේ ප්‍රථම, දෙවන අණභාර නිලධාරියා වේ.

වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වූ අතර, සිය කීර්තිමත් නාවික දිවියේ දෙවතාවක් එම බලඝණයට අණදීමට භාග්‍ය ලද්දකු වේ. ලොව අනෙකුත් විශේෂ බලකායන් සමග සමවිය හැකි පරිදි විශේෂ බලඝණය දියුණු කරලීම සඳහා ඔහු ඉමහත් කැපවීමක් හා දායකත්වයක් දක්වා ඇත. විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයින් හට ඔහු විසින් ලබාදෙන ලද ආවේණික හැකියාවන් සහ යුද උපක්‍රම විශේෂ යාත්‍රා බලඝණයේ වෘත්තීය නිපුනතාවයන් ගොඩනැංවී‍මේ පදනම ලෙස වර්තමානය දක්වා ද නොසැලී පවතී.

ගොඩබිමෙහි, සාගරයෙහි ගුවනෙහි මෙන්ම දිය යට කෙරෙන මෙහෙයුම් සඳහා පුහුණුව ලබා ඇති විශේෂ යාත්‍රා බලඝණය වෙරළාසන්න සැඟවුනු සටන්, දිගුදුර නිරීක්ෂණ මෙහෙයුම්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ මෙහෙයුම්, සාගරයෙන් හා ගොඩබිමෙන් සිදුකෙරෙන ක්ෂණික කුඩා කණ්ඩායම් ප්‍රහාර මෙන්ම ප්‍රභූ ආරක්ෂක රාජකාරීන් සඳහා සු‍විශේෂී නිපුනත්වයක් දක්වයි. වර්ෂ 22ක් පුරා මෙම මෙහෙයුම් සඳහා දයකත්වය ලබාදී ඇති විශේෂ යාත්‍රා බලඝණය අද වන විට ප්‍රමුඛතම විශේෂ බලකායක් බවට පත්ව ඇති අතර, ඔවුන් විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හමුවේ පෙන්වන ලද අභීතභාවය හා වෘත්තීය නිපුනත්වය කලාපයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද පැසසුමට ලක්ව ඇත.

නිලධාරීන් හා නාවිකයින් ඇමතූ එතුමා තරුණ ලුතිනන් කොමාණ්ඩර් වරයෙකු ලෙස නොයෙකුත් අභියෝග සහ බාධක මධ්‍යයේ 1993 වර්ෂයේදී විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ කළ ආකාරය සිහිපත් කළ අතර, ඉන්දීය නාවික කොමාණ්ඩෝ භටයන් සමග එක්ව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් හා යුද වැදීමේදී ලබාගත් අත්දැකීම් සහ දැනුම මෙම බලකාය ආරම්භ කිරීමට හේතු වූ බව ප්‍රකාශ කර සිටියේය. යාපනය කලපුවේදී සහෝදර නාවිකයන් කිහිපදෙනෙකු සමග ප්‍රබල එල්ටීටීඊ ප්‍රහාරයන්ට මුහුණදුන් අයුරුද, සතුරා ඉදිරියේදී පෙන්වූ එම නිර්භීතභාවය ඉන්දීය නාවික කොමාණ්ඩෝ භටයන්ගේ ප්‍රශංසාවට ලක්වූ අයුරුද ඔහු එහිදී සිහිපත් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමා, අභියෝගයන්ට මුහුණදීම සඳහා බලඝණයට බැඳී, එය අද පවතින තත්වයට ගෙන ඒම සඳහා උරදුන් අභීත නාවික රණවිරුවන් ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය. ත්‍රස්තවාදී උවදුරෙන් රට බේරා ගැනීම සඳහා බලඝණයේ රණවිරුවන් සිදුකළ කැපකිරීම් අගය කළ එතුමා නාවික හමුදා අරමුණු කරා ළඟාවීම සඳහා එම බලඝණය ඉදිරියේදී ද සිය දායකත්වය ලබාදිය යුතු බව පැවසීය. තවදුරටත් අදහස් දක්වමින් අභියෝග හා තර්ජන ජය ගැනීමට නම් වෘත්තීමය නිපුණත්වය පවත්වාගත යුතු බවත්, ඒ සඳහා අඛණ්ඩ පුහුණුව අත්‍යාවශ්‍ය සාධකයක් බවත් පෙන්‍වා දෙනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා හා අණදෙන නිලධාරීතුමා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරුණු අතර, බලඝණ මූලස්ථාන භූමියේ නාවික හමුදාධිපතිතුමා විසින් පැලයක් ද රෝපණය කරන ලදී.

මෙම අවස්ථාවට නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී විය.