2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියර නිමාවට පත්වෙයි

2015 වාර්ෂික පාසල් නාවික ශිෂ්‍යභටයින් ඇගයීම් කඳවුරේ දෙවන අදියරෙහි සමාප්ති උළෙල, නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ආනන්ද ගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ සරඹ පිටියේ දී සැප්තැම්බර් මස 09 වන දින පැවැත්විය. ශිෂ්‍යභට ඛණ්ඩයේ සම්මාන ආචාරය පිළිගැනීමෙන් අනතුරුව විධාන නියෝජ්‍ය ආඥාපතිතුමන් විසින් ඇගයීම් කඳවුරේ දක්ෂතම ශිෂ්‍යභටයා වූ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කළ සුළු නිලධාරී ඊකේසීකේ ප්‍රියදර්ශණ වෙත නාවික හමුදාධිපති අභියෝගතා කුසලානය ප්‍රදානය කෙරිණි.

පාසල් 36ක් නියෝජනය කරමින් ශිෂ්‍ය භටයින් 903 දෙනෙකු මෙම වාර්ෂික ඇගයීම් කඳවුරට සහභාගී වූ අතර, ජාතික ශිෂ්‍යභට බලකායේ සිව්වන බලමුළුවේ තූර්යවාදක කණ්ඩායම ද ඊට එක්විය. මෙම ඇගයීම් කඳවුරේදී භූමි උපක්‍රම, ශාරීරික අභ්‍යාස, ඝන සහ අවි සරඹ, නාට්‍ය, ඉදිරිපත් කිරීමේ හැකියාව, අණදීමේ හැකියාව, විශ්වාසය ගොඩනැගීම මෙන්ම ජාතික ශිෂ්‍යභට බලකායේ විෂය මාලාවට ඇතුළත් විෂයයන් ඔස්සේ ශිෂ්‍ය භටයින් ඇගයීමට ලක්කෙරිණි.

පුරා සති දෙකක කාළයක් පැවති ඇගයීම් කඳවුරේදී, ශිෂ්‍ය භටයින් හට නාවික දිවිය පිළිබඳව අවබෝධයක් මෙන්ම, විවිධ අංශයන්ගෙන් සමන්විත නාවික හමුදාව තුළ තමන් හට පවරන ලද කාර්යභාරයන් නිසි ලෙස ඉටුකරන ආකාරය පිළිබඳව දැක ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී. නාවික හමුදා යාත්‍රාවක නැගී මුහුදු චාරිකාවක යෙදීමේ දුර්ලභ අවස්ථාව ද ශිෂ්‍ය භටයින්හට ලබාදුන් අතර, නාවික හමුදාවේ නෞකාවන් කිහිපයක් නැරඹීමට මෙන්ම ප්‍රෞඩ සාගරික ඉතිහාසය සහ නාවික සංග්‍රාමයන් රැසක ජයග්‍රහණ පිළිඹිබු කෙරෙන ප්‍රදර්ශන භාණ්ඩයන්ගෙන් සමන්විත ත්‍රිකුණාමළය නාවික කෞතුකාගාරය නැරඹීමටද ඔවුන්ට ඉඩ ලැබිණි.

ශිෂ්‍යභට තූර්යවාදක කණ්ඩායමේ සහ නාවික හමුදා බටහිර තූර්යවාදක කණ්ඩායමේ විචිත්‍රවත් ඉදිරිපත් කිරීමකින් අනතුරුව ඇගයීම් කඳවු‍රේ නිමාව සනිටුහන් විය. මෙම අවස්ථාවට නාවික හා සාගරික විද්‍යාපීඨයේ නිලධාරීන්, ජාතික ශිෂ්‍යභට බලකායේ ප්‍රධානීන්, පාසල් නියෝජනය කරමින් පැමිණි ගුරුභවතුන් සහ ශිෂ්‍ය භටයින්ගේ දෙමාපියන් ද සහභාගී විය.