“අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියෙන් නාවික හමුදාවට නිවාස 21ක්

ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන අදියර යටතේ ඉදිකළ නිවාස සියයක් රණවිරුවන් වෙත ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) කොළඹ, ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. මීට සමගාමීව, අර්ධ වශයෙන් ඉදිකල නිවාස සහිත රණවිරුවන් 271 දෙනෙකුගේ නිවාසයන්හි වැඩ නිම කර ගැනීමට රුපියල් 750,000/= ක වටිනාකමින් යුත් ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාගැනීමට අදාල සහතිකපත් ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු කෙරිණි.

උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව නිවාසලාභී රණවිරුවන්හට යතුරු ප්‍රදානය කිරීම සිදුකෙරිණි. එහිදී නාවික රණවිරුවන් 21 දෙනෙකු තම නිවාසයන්ට හිමි යතුරු ලබාගත් අතර, තවත් නාවික රණවිරුවන් 52 දෙනෙකු ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාගැනීමට අදාල සහතිකපත් ලබාගන්නා ලදී.

මහනුවර දිස්ත්‍රික්කයේ “අපි වෙනුවෙන් අපි” නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉදිකළ සියළුම නිවාසයන් නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණයෙන් හා ශ්‍රමදායකත්වයෙන් ඉදි කෙරිණි.

මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින රණවිරුවන්ට උපහාරයක් වශයෙන් සිදුකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය අතිගරු ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම හා ගරු ආරක්ෂක ලේකම්ගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ගරු ෆයිසර් මුස්තාෆා මහතා, ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන්, ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයින් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් රැසක් ද සහභාගී විය.