15 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය

15 වන කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව හැදෑරූ නිලධාරීන් හට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සැප්තැම්බර් මස 12 වන දින උත්සවාකාරයෙන් පැවැත්විය. නාවික දියත් විධානයේ ආඥාපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, එම අවස්ථාවට නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු විධායක, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ‍විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද එක්ව සිටියහ.   

ආරක්ෂක කළමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨාමාලාව හදාරණ, නාවික හමුදාවේ විවිධ අංශවලට අනුයුක්ත නිලධාරීන් 18 දෙනෙකු හට, සති 18ක නේවාසික පලමු අධ්‍යයන වාරය අවසන් කිරීම නිමිත්තෙන් මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය පැවැත්විණි.

මාණ්ඩලික පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකමක් ලෙස සැලකෙන මෙම කණිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව, නාවික නිලධාරීන්ගේ එක් එක් අංශවලට විශේෂිත වූ රාජකාරීන් වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීමට හා විවිධ අණ හා මාණ්ඩලික පත්වීම් වලදී ඵලදායි ලෙස රාජකාරී කිරීමට මනා සේ ඉවහල් වේ.

මෙම පාඨමාලාවේ දී කළමණාකාරණය, නායකත්වය ඇතුළු අනෙකුත් විෂයයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් ලුතිනන් කොමාණ්ඩර් (ඉ) අයිඩබ්ලිව්ඒඑන්එස් මදුශංක දක්ෂතම නිලධාරියා වශයෙන් සහතික හිමිකර ගත් අතර, ලුතිනන් කොමාණ්ඩර් එම්වීඑස්ඩී මැණික්ගේ දක්ෂතම කථිකයා වශයෙන් සහ ප්‍රථම ස්ථානය ලබා ගත් පර්යේශණාත්මක ලිවීමට හිමි ත්‍යාග ලබා ගන්නා ලදී. ලුතිනන් කොමාණ්ඩර් (කිමිදුම්) එච්ජීසීවී පියසේන හොඳම කාර්යශූර නිලධාරියා වශයෙන් ද, ලුතිනන් පීඒආර්කේ රණසිංහ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් ද ත්‍යාග හිමිකර ගන්නා ලදී.