රියර් අද්මිරාල් සිසිර ජයකොඩි නාවික හමුදාවේ ජල මානක විද්‍යා (Hydrography) අංශයේ ප්‍රධානියා වශයෙන් පත්කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානියා වශයෙන් රියර් අද්මිරාල් සිසිර ජයකොඩි ආර්ඩබ්පී, ආර්එස්පී, යූඑස්පී, එන්ඩීසී, පීඑස්සී, එම්එස්සී(ඩීඑස්)එම්ජීටී, එම්එස්සී(එන්එස්, ඩබ්ලිව්එස්), ඒඑස්සී 2015 අගෝස්තු මස 01 වන දින සිට පත්කර ඇති අතර, ඔහුගේ නව පත්වීමට අදාල ලිපිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් අද (14) නාවික හමුදා මූලස්ථානයේදී ලබාගත්තේය.

1981 වර්ෂයේ සැප්තැම්බර් 28 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වී ඇති රියර් අද්මිරාල් ජයකොඩි මහතා සිය මූලික පුහුණුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් සහ ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් හදාරා ඇත. ජල මානක විද්‍යාව පිළිබඳව විශේෂ පුහුණුව ලද නිලධාරියකු වන ජයකොඩි මහතා මෙම නව පත්වීමට අමතරව නාවික හමුදාවේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල ලෙස කටයුතු කරනු ලබයි.

මුහුදේ සහ ගොඩබිම් ආයතනයන් හි රාජකාරි කර ඇති ඔහුගේ කීර්තිමත් නාවික දිවිය තුළ නාවික හමුදාවේ මිසයිල ප්‍රහාරක නෞකාවක් වන නන්දිමිත්‍ර නෞකාවේ සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා වල අණදෙන නිලධාරියා ලෙස ද, වේග ප්‍රහාරක යාත්‍රා වල අණභාර නිලධාරී ලෙස ද කටයුතු කර ඇති අතර, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නාවික මෙහෙයුම් පිළිබඳ මාණ්ඩලික නිලධාරී වශයෙන් ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ද, ත්‍රිකුණාමළ නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු විධායක වශයෙන් ද, නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති වශයෙන් ද, උතුරු මැද නාවික විධාන ආඥාපති වශයෙන් ද, නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂ නාවික පුහුණු වශයෙන් ද, අධ්‍යක්ෂ නාවික පුද්ගල වශයෙන් ද, අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් ද නාවික හමුදාවේ ඉතා වැදගත් තනතුරු රාශියක රාජකාරී කර ඇත.

දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති රියර් අද්මිරාල් ජයකොඩි මහතා ඉන්දියාවේදී උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාවත්, ඇමරිකා එක්සත් ජනපදයේදී වෙරළාරක්ෂක මෙහෙයුම් පිළිබඳ පාඨමාලාව සහ දියෙහි සිට ගොඩබිමට ප්‍රවිශ්ඨ වී කෙරෙන සංග්‍රාම මෙහෙයුම් සැලසුම්කරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාවත්, ඉන්දියාවේදී පුහුණු කළමණාකාර පාඨමාලාවත්, ඇමරිකා එක්සත් ජනප‍දයේ හවායි හිදී උසස් ආරක්ෂක සහයෝගිතා පාඨමාලාවත් හදාරා ඇත. තවද, ඇමරිකා එක්සත් ජනපදයේ නාවික යුද විද්‍යාලයෙන් මාණ්ඩලික පාඨමාලාව හා පාකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ජාතික ආරක්ෂක පාඨමාලාව සාර්ථකව හදාරා ඇති ඔහු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යනය පිළිබඳ කළමණාකරණ විද්‍යාපති උපාධියත්, පාකිස්ථානයේදී ජාතික ආරක්ෂාව සහ යුද උපක්‍රම පිළිබඳ විද්‍යාපති උපාධියත් ලබා ඇත.

ඔහුගේ විශිෂ්ඨ සේවය අගයමින් රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම, උත්තම සේවා පදක්කම ඇතුළු පදක්කම් හා පලඳනා රැසකින් පිදුම් ලබා ඇත.