සන්නද්ධ හමුදා මාණ්ඩලික සාකච්ජා සඳහා පැමිණි පාකිස්ථාන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි


ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන සන්නද්ධ හමුදා අතර පැවැත්වෙන මාණ්ඩලික සාකච්ජා සඳහා සහභාගීවීමට පැමිණි පාකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී  නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. පැමිණි පිරිස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙනුවෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

අධ්‍යක්ෂ ජෙනරාල් විදෙස් හමුදා සහයෝගිතා, මේජර් ජෙනරාල් ඉෆ්ටිකාර් අහමඩ් වයින් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාකිස්ථාන හමුදා නිලධාරීන් පිරිසට, විදෙස් හමුදා සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂක, කොමදෝරු සාහිද් අක්රම්, ඒකාබද්ධ මාණ්ඩලික මූලස්ථානයේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු සාජහාන් සට්ටර් ඛාන් යන නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා ද අයත් විය.

එහිදී ඔවුන් දෙරටෙහි හමුදාවන් අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබ‍‍‍ඳව මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත විය. දීර්ඝකාලීන මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදුවිය.