ඉන්දුනීසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික සාගරික ආරක්ෂක සමුළුවට නාවික හමුදාධිපතිතුමා සහභාගී වේ


සැප්තැම්බර් මස 15 වන දින සිට 17 වන දින දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන අන්තර්ජාතික සාගරික ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඉන්දුනීසියාව බලා පිටත්විය. ඉන්දුනීසියානු නාවික හමුදාව මගින් අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරනු ලබන මෙම විද්වත් සමුළුවට රටවල් 30කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගී වේ.

“අන්‍යෝන්‍ය සහයෝගීත්වය සහ විශ්වාසය ගොඩනැගීම තුළින් සාමය හා සමෘද්ධිමත් බව ළඟාකර ගැනීම”යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ. ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීම තුළින් මෙම අරමුණ කරා ළඟාවීම පිළිබඳව මෙහිදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ විද්වතුන් විසින් අදහස් හුවමාරු කර ගැනේ.