බොල්ගොඩ ජලාශයේ පැවති 2015 අන්තර් විධාන රුවල් යාත්‍රා ශූරතාවලිය

2015 නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා ශූරතාවලිය සැප්තැම්බර් මස 10 සහ 11 යන දිනයන්හි බොල්ගොඩ ජලාශයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සහභාගී විය. තරඟාවලිය පුරා විශිෂ්ඨ දක්ෂතා දැක්වූ උතුරු නාවික විධානය පිරිමි අංශයේ ශූරතාවය හිමි කර ගැනීමට සමත්වූ අතර, දකුණු නාවික විධානය එහි අනුශූරයන් බවට පත්විය. කාන්තා අංශයේ ශූරයන් බවට පත්වෙමින් නැගෙනහිර නාවික විධානය තරඟාවලියේ ආධිපත්‍ය තමන් සතු කර ගත් අතර, උතුරු මැද නාවික විධානය එහි අනුශූරයන් බවට පත්විය.

තරඟාවලියේ පිරිමි අංශයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ උතුරු විධාන කණ්ඩායම නියෝජනය කළ නායක නැවි ඩීඑම්ජීපීඑච් දිසානායක සහ බලනැවි ඩබ්ලිව්ඒආර් කුමාර රන් පදක්කම් දිනාගත් අතර, දකුණු නාවික විධාන කණ්ඩායම නියෝජනය කළ ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා සහ බලනැවි එම්එච්එස් ලක්මාල් රිදී පදක්කම් දිනාගැනීමට සමත්විය. උතුරු නාවික විධාන කණ්ඩායම නියෝජනය කළ බල සෙබළ ජේඑච්එම්පීඅයි ජයපද්ම සහ බලනැවි ජේආර් ජීවන්ත ‍ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදී.

කාන්තා අංශයේ පැවති තරඟයන්හි දක්ෂතා දැක්වූ නැගෙනහිර නාවික විධාන කණ්ඩායමේ කාන්තා ලිපිකරු එස්සීඑම් සමරවික්‍රම සහ බල කාන්තා නැවි කේඑම්ඩී ප්‍රියන්ජලී රන්පදක්කම් දිනාගත් අතර, එහිදී රිදී පදක්කම් දිනාගැනීමට එම විධාන කණ්ඩායම නියෝජනය කළ ආධුනික කාන්තා නැවි එල්එච්කේ සිල්වා සහ ආධුනික කාන්තා නැවි ඩබ්පීටීඅයි කරුණාරත්න සමත්විය. දකුණු නාවික විධාන කණ්ඩායම නියෝජනය කළ බල කාන්තා නාවික කේඑම්ජේඩීඑන් කව්රුපිටිය සහ කාන්තා ශාරීරික අභ්‍යාසක එස්ඒඅයිඑස් සමරසිංහ ‍ලෝකඩ පදක්කම් දිනාගන්නා ලදී.