නාවික තඨාකාංගණයේදී ආශිර්වාද පතා ගණදෙවි පූජාවක් පවත්වයි

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ දී ආශිර්වාද පතා ගණදෙවි පූජාවක් සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වුණු අතර, පසුදින ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් නාවික හමුදා කඳවුරු පරිශ්‍රයෙන් ආරම්භවී ත්‍රිකුණාමළය නගරය දක්වාත්, එතැන් සිට නැවත කඳවුර දක්වාත් පැවැත්විණි.

මෙම අවස්ථාවට නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් නීල් ‍රොසයිරෝ මහතා, විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු ප්‍රදේශයේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් ද ‍සහභාගී විය.

මෙම වසරේ දී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු ගණදෙවි පූජාව සඳහා නාවික හින්දු භක්තිකයින් මෙන්ම අනෙකුත් ආගම් නියෝජනය කරන නාවික පුද්ගලයින් සහභාගීවීම ඔවුන් අතර ඇති ආගමික සහජීවනය මනා ලෙස පිළිඹිබු කරන්නක් විය. එමෙන්ම මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ප්‍රදේශයේ වෙසෙන හින්දු ආගමික බැතිමතුන් විශාල පිරිසකට ඉඩ සැලසුනු අතර, මෙම වාර්ෂික ගණදෙවි පූජාව, ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරගැනීමටත්, ප්‍රදේශයේ වෙසෙන සිවිල් ජනතාවගේ සුභසාධනයට සහ ආගමික චාරිත්‍රයන් සඳහා නාවික හමුදාව දක්වන සහයෝගය පෙන්නුම් කිරීමටත් මනාසේ උපකාරී විය.