ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදය නාවික හමුදාධිපතිට උපහාර දක්වය

ජනාධිපති බාලදක්ෂයකු මෙන්ම රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ යාවජීව සාමාජිකයකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී සැප්තැම්බර් මස 19 වන දින පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා සහ රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ සභාපති දේශමාන්‍ය නිමල් බුලත්සිංහල මහතා ඇතුළු බාලදක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.

මෙහිදී බාලදක්ෂයින් විසින් බාලදක්ෂ සම්ප්‍රදායට අනුකූලව නාවික හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර, පැවති උත්සවය අතරතුරදී ශ්‍රී ලංකා රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදය විසින් වරෙක සහෝදර බාලදක්ෂයෙකුව සිට නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස පත්වූ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට සිය ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා සුභාශිංසන හා ආශිර්වාද එක් කරන ලදී. එතුමාගේ මෙම පත්වීම සමස්ත බාලදක්ෂ ව්‍යාපාරයට අභිමානයක් බවද ඔහුන් එහිදී ප්‍රකාශකර සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙ‍රිණි.

1979 වර්ෂයේ ජනාධිපති බාලදක්ෂයෙක් බවට පත්වූ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ 42වන බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයකු ද වේ.