උතුරු මුහුදේ දී ආපදාවටපත් ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව බේරාගනී

පසුගිය ඉරිදා (20) උදෑසන අනලතිව් දූපතට බටහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ආපදාවටපත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය. ඉන්ධන අවසන්වීම හේතුවෙන් සහ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාවෙමින් තිබියදී මෙම ට්‍රෝලර් යාත්‍රාව උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික යාත්‍රාවක නිරීක්ෂණයට ලක්විය.

බේරා ගැනුණු ධීවරයින් තිදෙනා සමග ආපදාවටපත් ට්‍රෝලර් යාත්‍රාව (IND/TN/06/MM/518) කරෙයිනගර් නාවික කඳවුර වෙත ආරක්ෂිතව රැගෙන ඒමෙන් අනතුරුව එහි අළුත්වැඩියා කටයුතු සිදුකළ අතර, ඉන් අනතුරුව එම යාත්‍රාව නාවික හමුදා ආරක්ෂාව යටතේ අද (21) ඉන්දීය මුහුදු සීමාව දක්වා පිටත්කර හැරිණි. නාවික හමුදාව විසින් මෙම ධීවරයින් පිරිස සොයාගන්නා අවස්ථාවේ රළු මුහුදු තත්වය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි අතර, ඔවුන් නාවික කඳවුර වෙත රැගෙන ඒමෙන් පසුව ආහාර හා නවාතැන් පහසුකම් සලසා දීමට ද නාවික හමුදාව කටයුතු කරන ලදී. 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළදී අනතුරට හෝ ආපදාවට පත්වන ඉන්දීය ‍ධීවරයින් මානුෂීය හේතූන්මත බේරා ගැනීමට හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරයි.