නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් නීති විරෝධී ධීවර කටයුතු වල නියැළුනු පුද්ගලයින් 18 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (21) සමත්විය. ත්‍රිකුණාමළය පිටත වරාය මුහුදු තීරයේදී පුද්ගලයින් 15 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 02ක්, සුරුක්කු දැල් 02ක්, කිමිදුම් වරල් යුගල් 02ක් සහ කිමිදුම් මුහුණු ආවරණ 03ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, ‍පොඩුවාකට්ටු වෙරල තීරයේදී පුද්ගලයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් සහ සුරුක්කු දැල් 01ක් ද අත්අඩංගුවට ගැනිණි.

මීට අමතරව, පොඩුවාකට්ටු කලපු ප්‍රදේශයේදී ඩිංගි යාත්‍රාවක් සහ සුරුක්කු දැල් 01ක් ද නාවික හමුදා අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමළය වරාය පොලිසිය වෙත සහ කුච්චවේලි පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.