“දියකාවා” යුද අභ්‍යාසයේ අවසන් දින සම්භාවනීය අමුත්තෙකු වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වේ

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයන් විසින් ඒකාබද්ධව සිදුකරන ලද  “දියකාවා” ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ අවසන් දින මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සම්භාවනීය අමුත්තෙකු වශයෙන් සහභාගී විය.

බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මලයාසියාව, නේපාලය, පාකිස්ථානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල හමුදා සාමාජිකයින්ගේ ද සහභාගීත්වයෙන් නැගෙනහිර වෙරළ කලාපය ආවරණය කරමින් පැවැත්වුණු මෙම අභ්‍යාසය, සැප්තැම්බර් මස 03 වන දින ආරම්භ විය. ගුවනින් හා මුහුදින් ගොඩබිමට අවතීර්ණ වී කෙරෙන සංග්‍රාම සහ විශේෂ බළඝණයන්ට ආවේණික සංග්‍රාමයන්ගෙන් සමන්විත වූ මෙම අභ්‍යාසය, විශේෂ ඒකකයන්හි සාමාජිකයන් හට තම මෙහෙයුම් හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් කෙරිණි.

‍මඩකලපුව පුන්නෙයිකුඩා හිදී පැවති මෙම අභ්‍යාසයේ අවසන් මෙහෙයුම, අට දෙනෙකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් අටකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලද අතර, ගොඩබිමට අවතීර්ණ වී කෙරුණු අවසන් මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්, වේග මගී ප්‍රවාහන යාත්‍රාවන්, වේග ප්‍රහාරක යාත්‍රාවන් සහ වෙරළාරක්ෂක යාත්‍රාවන් සිය දායකත්වය ලබාදෙන ලදී.

හමුදා සාමාජිකයින් 2500කගේ පමණ සහභාගීත්වයෙන් සිදුකරන ලද මෙම අභ්‍යාසයට නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළඝණය සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය නියෝජනය කරමින් 245 දෙනෙකු සහභාගී විය. මෙම ඒකාබද්ධ මෙහෙයුම සඳහා ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන සමුදුර, ගොඩබිමට ළඟාවීමේ පහසුකම් සහිත එල් 821 සහ සම්පීඩිත වායු යාත්‍රා, මෙහෙයුමේ විවිධ අවස්ථාවලදී සිය දායකත්වය ලබාදෙන ලදී.  

මෙම අවසන් මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාධිපති, ගුවන් හමුදාධිපති ඇතුළු විදෙස් නියෝජිතයින් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී විය.