මුහුදේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු නාවික හමුදාව බේරා ගනියි

යාපනය, ඉරනතිව් දූපතට නාවික සැතපුම් 5ක් පමණ බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු බේරා ගැනීමට පසුගිය 23 වන දින  නාවික හමුදාව සමත්විය. යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව, නැංගුරම්ලා තිබියදී නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

සැප්තැම්බර් මස 21 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් නැවත නොපැමිණි මෙම ධීවර යාත්‍රාව සොයා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව මේ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව සිය නෞකාවන් හා මුර යාත්‍රාවන් දැනුවත් කර තිබිණි.

පැවති රළු මුහුදු තත්වය හේතුවෙන් වෙහෙසට පත්ව සිටි ඉන්දීය ධීවරයින් පිරිස ආරක්ෂිතව තලෙයිමන්නාරම ‍නාවික කඳවුර වෙත රැගෙන ඒමෙන් පසුව අවශ්‍ය ආහාර පාන හා වෛද්‍ය පහසුකම් ලබාදීමට නාවික හමුදාව කටයුතු කළ අතර, මේ පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමෙන් පසුව මෙම ධීවරයින් පිරිස සහ ට්‍රෝලර් යාත්‍රාව ඊයේ (24) සවස කච්චතිව් දූපතට නිරිත දිගින් වූ අන්තර්ජාතික මුහුදු සීමාව දක්වා රැගෙන ගොස් ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සී 142 යාත්‍රාව වෙත භාර දීමට කටයුතු ක‍රන ලදී.