රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නෞකාව කොළඹ වරායට පැමිණේ

රුසියානු නාවික හමුදාවේ “ඒප්‍රන්” නැමැති  මුදවාගැනීමේ නෞකාව සුහද චාරිකාවාරයක් සඳහා අද (24) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 89.7 ක් සහ ටොන් 3,380 ක ධාරිතාවයකින් යුක්ත නෞකාවේ කාර්යය මණ්ඩලය නාවික පුද්ගලයන් 138 දෙනෙකුගෙන් සමන්විත වේ. කපිතාන් (තෙවන නිලය) ඩෙනිස් ඒ බර්ග්ස් මහතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලබයි.  

කාර්යය ඛණ්ඩ භාර අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරන කපිතාන් (පලමු නිලය) සර්ජි වී ඉග්නැටෝව් මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩෙනිස් ඒ බර්ග්ස් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවී සුහද කතාබහක නිරත වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම නෞකාව සැප්තැම්බර් මස 26 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතය.