රිච්මන්ඩ් විද්‍යා‍ලයේ පැවති ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ගේ දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි

ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන්ගේ දිනය නිමිත්තෙන් අද (24) පැවති  උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය. එහිදී විදුහල්පතිතුමන් ඇතුළු පිරිස විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, කාර්යමණ්ඩලය, ආදි බාලදක්ෂයින් හා විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින් එතුමන් විද්‍යාලීය ස්නෙත් ක්‍රීඩාංගණය වෙත කැඳවාගෙන යනු ලැබීය. රිච්මන්ඩ් විද්‍යාලීය බාලදක්ෂ සංගමයේ සියවස් සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කෙරිණි.

ආදි බාලදක්ෂයින් හා බාලදක්ෂිකාවන් විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ එකමුතුභාවය පිළිඹිබු කරමින් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර, ආදර්ශවත් පුරවැසියන් බිහිකරලීම සඳහා සක්‍රීයව දායකවන බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා විශේෂ උනන්දුවක් දක්වන, කොළඹ රාජකීය විද්‍යාලයේ ජනාධිපති බාලදක්ෂයකු මෙන්ම රැජන හා ජනාධිපති බාලදක්ෂ සංසදයේ යාවජීව සාමාජිකයකු ද වන නාවික හමුදාධිපතිතුමා මෙම අවස්ථාවට සහභාගීවීම ආදී බාලදක්ෂයින්ගේ මහත් ගෞරවාදරයට ‍පාත්‍රවිය.

1915 වසර දක්වා විහිද යන පෞඩ ඉතිහාසයක් ඇති දක්ෂිණ ලංකාවේ ප්‍රමුඛ පෙළ අධ්‍යාපන ආයතනයක් වන රිච්මන්ඩ් විද්‍යාලයේ බාලදක්ෂයින්ගේ සියවස් සැමරුම, බාලදක්ෂ ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත අති උත්කර්ශවත් උළෙලක් වශයෙන් පැවැත්විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් හා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.