නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම අනුග්‍රහය දක්වයි

ශ්‍රී ලංකාවේ විශාලතම එල්පී ගෑස් ආනයන සහ සැපයුම් සමාගමක් වන ලිට්‍රෝ ගෑස් සමාගම විසින් 2015 වර්ෂයේ නාවික හමුදා තුන් ප්‍රයාම තරඟාවලිය සඳහා රුපියල් 100,000.00 ක අනුග්‍රාහක දායකත්වයක් ලබා දීමට ඉදිරිපත් වූ අතර, ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කුසලතාවයන් නැංවීම සඳහා නාවික හමුදාව විසින් ගනු ලබන ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ඊට අදාල ප්‍රේෂණපත 2015 සැප්තැම්බර් මස 25 වන දින ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ (විකුණුම් හා අලෙවි) චමින්ද එදිරිවික්‍රම මහතා විසින් නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනමන ලදී. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු (වෙළඳ) ප්‍රභාත් විදානගමගේ මහතාද එම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් මෙම තුන් ප්‍රයාම තරාඟාවලිය 2015 නොවැම්බර් මස 01 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඒ සදහා ත්‍රිවිධ හමුදාව, ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

ජයග්‍රාහකයන් සඳහා ආකර්ෂණීය ත්‍යාග පිරිනැමෙන මෙම තරඟාවලියේ පිහිණුම් ඉසව්ව දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේද පාපැදි සහ දිවීමේ ඉසව් දික්ඕවිට සහ උස්වැටකෙයියාව අතරද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ එම ක්‍රිඩාව ජනප්‍රිය කිරීම නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද මෙම තුන් ප්‍රයාම තරඟාවලියේ අභිප්‍රාය වේ.