නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් මුහුදු මංකොල්ලකෑම් පිළිබඳව සිය අදහස් දක්වයි

2015 සැප්තැම්බර් මස 01 වන දින යුධ හමුදාව සිසින් සංවිධානය කරන ලද ආරක්ෂක සමුළු පළමු සැසිවාරයේදී නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා විශේෂ දේශණයක් පවත්වන ලදී. “සාගරික ආරක්ෂාවට තර්ජනයක් වන මුහුදු මංකොල්ලකෑම්” යන මාතෘකාව යටතේ කරුණු ඉදිරිපත් කල එතුමා, සාගරික ආරක්ෂාව ලෝක වෙළදාම සහ වාණිජ ක්‍රියාකාරකම් කෙරෙහි බලපාන අන්දම පිළිබඳව පැහැදිලි කරන ලදී. තවද, එහිදී මිනිස් ජාවාරම් හා මුහුදු කොල්ලකෑම් අතර පවතින සම්බන්ධය කෙරෙහි අවධානය යොමු කල අතර, ඉදිරියේදී ඇති විය හැකි සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක අභියෝග ජයගැනීම සඳහා අන්න්‍යේන්‍ය සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳවද අවධාරණය කරන ලදී. ලෝක නායකයන්ගේ හා ආරක්ෂක ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු විය යුතු මෙම කරුණ පිළිබඳව කරන ලද මෙම දේශණය එයට සහභාගී වූ දේශීය මෙන්ම විදේශීය විද්වතුන්ගේ ඇගයීමට ලක් විය.  

පස්වන වරටත් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ආරක්ෂක සම්මන්ත්‍රණය සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින කොළඹ ගලදාරී හෝට‍ලයේදී පැවැත්වුනු අතර,  ඒ සඳහා රටවල් 34 ක් සහ විදේශ දූත මණ්ඩල නියෝජනය කරමින් නියෝජිතයන් 66 දෙනෙකු ඇතුළු 350 කට අධික පිරිසක් සහභාගී විය. මෙවර එහි තේමාව වූයේ “නැගී එන ගෝලීය අර්බුද හමුවේ ජාතික ආරක්ෂාව” යන්නයි.