රඹෑව සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පවත්වයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රඹෑව ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද සාහිත්‍ය උත්සවය නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 29 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය උත්සව ශාලාවේදී පැවැත්විණී. එම අවස්ථාව සදහා නාවික හමුදාව නියෝජනය කරමින් පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති කපිතාන් අසංග රණසූරිය මහතා සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

“සොදුරු මිනිසෙකු නිර්මාණය කෙරෙන සාහිත්‍ය හා කළාව” යන තේමාව යටතේ පැවති මෙම විචිත්‍රවත් උළෙලට සහභාගී වූ විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු වල නියැලෙන දූ දරුවන් හට රු. 5000 බැගින් වූ ත්‍යාග වව්චර්පත් 30 ක් නාවික හමුදාව වෙනුවෙන් ශික්ෂා ආයතනයේ ආඥාපතිතුමන් විසින් පිරිනමන ලදී. දේශයේ සාහිත්‍ය උරුමයන් මතු පරපුරට දායාද කිරීමේ අවශ්‍යතාවය ප්‍රචලිත කිරීම වෙනුවෙන් සංවිධානය කල එම උත්සවයෙහි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට නොමසුරුව සහයෝගය ලබා දුන් නාවික හමුදාවට එහිදී සංවිධායකයන් විසින් සිය හෘදයාංගම කෘතවේදීත්වය පිරිනමන ලදී.