ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට නාවික හමුදාවේ සහාය

2015 ඔක්තෝබර් මස 01 වන දින සවස යාපනය, පේදුරුතුඩුවට ඊසාන දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයන් 07 දෙනෙකු නාවික හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් ධීවරයන්, ඔවුන් පැමිණි යාත්‍රාව සහ ආම්පන්න යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන්හට භාරදීමට කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර මුර සංචාරවල යෙදෙන අතර, නීතිමය රාමුව තුල ශ්‍රී ලංකා ධීවරයන්හට තම ධීවර කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබා දීම සඳහා මුහුදේ සිදුවන නීති වි‍රෝධී ක්‍රියා නැවැත්වීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට සිය සහයෝගය සෑම විටම ලබා දීමට කටයුතු කරනු ලබයි.