25 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඉන්දීය නාවික හමුදා “සාවිත්‍රි” නෞකාවේදී පවත්වයි

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකා නියෝජිතයින් අතර වාර්ෂික පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව මෙම මස 07 වන දින කන්කසන්තුරයට උතුරින් වූ දෙරටෙහි මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදාවේ “සාවිත්‍රි” නෞකාවේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසේ ප්‍රධානියා වශයෙන් උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී වූ අතර, ඉන්දීය නියෝජිතයින් පිරිසේ ප්‍රධානියා වශයෙන් තමිල්නාඩු හා පුඩුචේරි ප්‍රදේශයන් හි නාවික අණභාර නිලධාරී කොමදෝරු ආලෝක් භට්නගර් මහතා සහභාගී විය. මෙම දෙපිරිසෙහිම නිලධාරීන් විවිධ අංශයන්හි විශේෂ සුදුසුකම් සහිත අයවලුන් වේ.

මෙම වාර්ෂික සමුළුව, දෙරටෙහි නාවික හා වෙරළාරක්ෂක බලකායන් අතර පොදු අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබයි. 25 වන වරටත් පැවැත්වුණු මෙවර සමුළුවේදී; අන්තර් සහයෝගීතාවය, සම්බන්ධීකරණය හා එක්ව කටයුතු කිරීම තුළින් කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. එමෙන්ම ස්වකීය හැකියාවන් සහ සීමාවන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර ගැනීම ඔස්සේ දෙරටෙහි නාවික හා වෙරළාරක්ෂක බලකා අතර අනතර්ක්‍රියාකාරී හැකියාවන් හා තාක්ෂණික ගැලපීම් වැඩිදියුණු කිරීම පිළිබඳව මෙන්ම තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අදහස් හුවමාරු විය.