ශ්‍රී ලංකා නාවික හමුදා විවෘත තුන්ප්‍රයාම තරඟාවලිය නොවැම්බර් මසදී පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන 2015 විවෘත තුන්ප්‍රයාම තරඟාවලිය නොවැම්බර් මස 01 වන දින උදෑසන 0630ට දික්ඕවිට ධීවර වරාය හා උස්වැටකෙයියාව ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරඟයේදී පිහිනුම් ඉසව්වන් දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රය තුළද, පාපැදි හා දිවීමේ ඉසව්වන් දික්ඕවිට සිට මීගමුව මාර්ගය ඔස්සේද පැවැත්වේ.

පිරිමි අංශයේ පිහිනුම් ඉසව්ව මීටර් 750ක් වන අතර, කාන්තා අංශයේ පිහිනුම් ඉසව්ව මීටර් 250කි. පාපැදි ධාවන තරඟයේදී පිරිමි අංශයට කිලෝමීටර් 20ක දුරක් හා කාන්තා අංශයට කිලෝමීටර් 10ක දුරක් ලැබෙන අතර, දිවීමේ ඉසව්වේදී පිරිමි හා කාන්තා අංශයන්ට පිළිවෙලින් කිලෝමීටර් 5ක හා 3ක දුර ප්‍රමාණයක් ලැබෙනු ඇත.  

තරඟයේ පළමු, දෙවන හා තෙවන ස්ථානයන් හිමිකරගන්නා පිරිමි අංශයේ ජයග්‍රාහකයින් හට කුසලානද සමගින් පිළි‍වෙලින් රුපියල් ලක්ෂය, හැත්තෑපන් දහස සහ පනස් දහස බැගින් වූ ත්‍යාගයන් පිරිනැමෙන අතර, කාන්තා අංශය සඳහා පිළිවෙලින් ජයග්‍රාහි කුසලාන ද සමග රුපියල් පනස් දහස, විසිපන් දහස සහ පහලොස් දහස බැගින් ත්‍යාග පිරිනැ‍මීමට නියමිතය. මීට අමතරව සිව්වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා ජයග්‍රහණ හිමිකරගන්නා ක්‍රීඩකයින් හට, රුපියල් දසදහස බැගින් හා ක්‍රීඩිකාවන් හට රුපියල් පන්දහස බැගින් මූල්‍යමය ත්‍යාගයන්ද පිරිනැමෙනු ඇත.  

මෙම තරඟාවලිය සංවිධානය කිරීම තුළින්, ශ්‍රී ලංකාව තුළ තුන්ප්‍රයාම ක්‍රීඩා ඉසව්ව ජාතික මට්ටම්න් ප්‍රචලිත කිරීමටත්, දක්ෂතා සහිත ක්‍රීඩකයින් හට ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් ඔප්නංවා ගැනීම සඳහා අවස්ථාව සැලසීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව බලාපොරොත්තුවේ.

මෙම තරඟාවලිය සඳහා සහභාගීවීමට කැමති සියලුම ක්‍රීඩකයින් ඔක්තොම්බර් මස 25 වන දිනට ප්‍රථම අයදුම් කළ යුතු අතර, ඒ පිළිබඳ වැඩිදුර විස්තර දුරකථන අංක 0718458786/ 0718037473 හෝ 0711997169 ඇමතීමෙන් හෝ www.navy.lk නාවික හමුදා නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.