දියගම පැවති 2015 ජාතික බේස්බෝල් ලීග් ශූරතාවලියේ ජයග්‍රහණය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම හිමිකර ගනියි

2015 ජාතික බේස්බෝල් ශූරතාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය. දියගම බේස්බෝල් ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් මස 11 වන දින පැවති අවසන් තරඟයෙන් යුද හමුදා කණ්ඩායම 07ට 03ක් වශයෙන් පරාජයට පත් කළ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම එහි ජයග්‍රහණය හිමි කර ගත්තේය. එම කණ්ඩායම නියෝජනය කළ ගබඩා සහකාර කේඒඑස් මධුශංක තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අතර, බල නැවි පීඑච්ටී මධුමාල් තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා සහ හොඳම පන්දු යවන්නා වශයෙන් කුසලාන හිමිකර ගන්නා ලදී.  

2012 වර්ෂයේදී ආරම්භ කල නාවික හමුදා බේස් බෝල් කණ්ඩායම ඉතාමත් කෙටි කාලයක් තුල සැළකිය යුතු ප්‍රගතියක් පෙන්වීමට සමත් විය. එම කෙටි කාල සීමාවේදී ජයග්‍රහණයන් රැසක් හිමිකර ගනිමින් නාවික හමුදා ධජය ක්‍රීඩාවේ ඉහළින්ම දිදුලවන්නට ඔවුනට හැකිවිය. ඔවුන් මුහුණදුන් දෙස් විදෙස් සියලුම තරඟයන්ගෙන් තම හැකියාවන් සාධනීය ලෙස වර්ධන කරගැනීමටත්, කණ්ඩායම් හැඟීම හා නොමද කැපවීම තුළින් තම ජයග්‍රහණයන් සුරක්ෂිත කරගැනීමටත් ඔවුනට හැකිවිය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට විශාල දායකත්වයක් දක්වන වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මග පෙන්වීම, නාවික හමුදා බේස්බෝල් සංචිතයේ සභාපති, කොමදෝරු යූඅයි සේරසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය, එහි ලේකම් ලුතිනන් කොමාණ්ඩර් ඩබ්ලිව්එන්එස්බී ධර්මරත්න මහතාගේ දිරිගැන්වීම සහ පුහුණුකරු අමිල පතිරාජ මහතා ලබාදුන් පුහුණුව නාවික හමුදා බේස්බෝල් කණ්ඩායමේ සාර්ථකත්වයට වඩාත්ම ඉවහල් විය. එමෙන්ම South Asia Gateway Terminals (SAGT) පුද්ගලික සමාගම විසින් නාවික හමුදා බේස්බෝල් සංචිතයට ලබාදෙන නිරන්තර අනුග්‍රාහකත්වය ද විශාල ශක්තියක් බව මෙහිදී සඳහන් කළ යුතුවේ.   

නාවික හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක කොම‍දෝරු සනත් උත්පල මහතා සහ ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් සංගමයේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් ද ‍මෙම අවස්ථාවට සහභාගී විය.