නාවික හමුදාධිපති ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය අමතයි


එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කළාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය, මත්ද්‍රව්‍ය උවදුරෙන් ශ්‍රී ලංකාව මුදවාගැනීම සඳහා නියමු මෙහෙවරක යෙදී සිටින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ විය.

එහිදී සාගරික මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව අවධානයෙන් පසුවීමේ වැදගත්කම පෙන්වාදෙමින් “සාගරික මත්ද්‍රව්‍ය ජාවාරම:තිරසාර විසඳුමක් සෙවීම” යන මාතෘකාව ඔස්සේ දෙස් විදෙස් නියෝජිතයින් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, එම ජාවාරම මැඩලීමේ ඇති අභියෝග සහ නව ප්‍රවනතාවයන් පිළිබඳව පැහැදිලි කළේය. මෙම ගැටළුවට තිරසාර විසඳුමක් සෙවීමේදී සාගරික කළාප පිළිබඳව දැනුවත්වීම හා සුපරීක්ෂාකාරීවීම, තත්කාලීන බුද්ධි තොරතුරු හුවමාරුව, සහයෝගීත්වය සහ සම්බන්ධීකරණයෙහි ඇති වැදගත්කම යන අංශ පිළිබඳව අවධානයෙන් පසුවීමේ වැදගත්කම සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කරුණු අවධාරණය කළේය.

ඉන්දියානු සාගරික කළාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩළීම සඳහා කළාපීය සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ පරමාර්ථයෙන් සංවිධානය කෙරුණු මෙම තෙදින සම්මන්ත්‍රණය සඳහා රටවල් 21ක සහ සංවිධාන 7ක ඉහළ තනතුරු දරණ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය. සම්මන්ත්‍රණයේ අවසන් දින යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීම සහ ඒවා සෝදිසි කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව දේශනයක් පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරාය පරිශ්‍රයේදී ඒ පිළිබඳ නිරූපනයක් ඉදිරිපත් කිරීමටද කටයුතු සලසා ඇත.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතා,ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු හර්ෂ ද සිල්වා මහතා , ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් ද සහභාගී විය.