ඇමරිකානු නාවික හමුදාව විසින් දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළයේදී

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් අංශ නාවිකයින් සඳහා දියයට පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබඳ සති දෙකක පුහුණු වැඩසටහනක් ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුරේදී පවත්වන ලදී.

දස දෙනෙකුගෙන් සමන්විත ඇමරිකානු නාවික හමුදාවේ අංක 5 දරණ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය අංශය මගින් පවත්වන ලද මෙම පුහුණු වැඩසටහනේ න්‍යායාත්මක පුහුණුව ත්‍රිකුණාමළය නාවික තඨාකාංගණයේදී ද, ප්‍රායෝගික පුහුණුව තඨාකාංගණය ආශ්‍රිත මුහුදේදී ද සිදුකරණ ලදී. මුහුදු බෝම්බ සොයා ගැනීම හා නිෂ්ක්‍රීය කිරීම සඳහා භාවිතා කරන දුරස්ථ පාලන උපකරණයක් මෙහිදී නාවික හමුදාව වෙත ප්‍රදානය කෙරුණු අතර, ඒ පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ද නාවික හමුදා කණ්ඩායම වෙත ලබාදෙන ලදී.

ඇමරිකානු නාවික හමුදාව විසින් මෙම පුහුණු වැඩසටහන දෙවන වරට පවත්වන ලද අතර, එහි මුල් වැඩසටහන 2014 වර්ෂයේ දී සිදුකෙරිණි. එහිදී ධ්වනි පරිලෝකන යන්ත්‍රයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රදානය කරන ලදී.

අංක 5 දරණ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය අංශයේ අණදෙන නිලධාරී විසින් අවසන් දින පැවති උත්සවයේදී මෙම පුහුණුවට සහභාගී වූ නාවිකයින් හට සහතිකපත් ප්‍රදානය කළ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා සහභාගී විය.