මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන් සඳහා නෞකාවන්ට ප්‍රවිශ්ඨ වීම සහ සෝදිසි කිරීම පිළිබඳ නිරූපනයක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කලාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්ධන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගිය 13 වන දින ආරම්භ විය. ඉන්දියානු සාගරික කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩළීම සඳහා කලාපීය සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ පරමාර්ථයෙන් සංවිධානය කෙරුණු මෙම තෙදින සම්මන්ත්‍රණය සඳහා රටවල් 21ක සහ සංවිධාන 7ක ඉහළ තනතුරු දරණ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.

මුහුදේ සහ වරායන්හිදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පිළිබඳව ක්‍රමවත් ලෙසට දත්ත පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කලාපීය සම්බන්ධතාවය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රම සහ එය මැඩළීම සඳහා මත්ද්‍රව්‍ය මර්ධන ආයතනයන්හි හැකියාවන් වර්ධනය කිරීම යනාදී මාතෘකා සම්මන්ත්‍රණයේදී සාකච්ජාවට බඳුන්විය. මෙම තෙදින සමුළුවේ අවසන් වැඩසටහන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ වරායේ පිහිටි බටහිර නාවික විධාන මූලස්ථානයේදී පවත්වන ලද අතර, කපිතාන් මයිකල් ටර්නර් මහතා විසින් එහිදී නෞකාවන්ට ප්‍රවිශ්ඨ වීම සහ සෝදිසි කිරීම පිළිබඳව දේශනයක් පවත්වන ලදී.

වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයින් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මුහුද මැදදී නෞකාවකට ප්‍රවිශ්ඨ වීම සහ සෝදිසි කිරීම පිළිබඳව නිරූපනයක් ඉදිරිපත් කරන ලදී. මෙම නිරූපනයේදී ක්ෂණිකව නෞකාවකට ප්‍රවිශ්ඨ වීම සඳහා අවශ්‍ය වෘත්තීමය නිපුනත්වය මෙන්ම නෞකාවක සඟවා ඇති මත්ද්‍රව්‍ය සොයාගැනීමට අවශ්‍ය විශේෂ දැනුම හා ප්‍රායෝගික පුහුණුව පැමිණ සිටි විදේශීය නියෝජිතයින් හමුවේ ප්‍රදර්ශණය කරන ලදී. නෞකාවක සඟවා ඇති මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ඇති අපහසුතාවයන් පිළිබඳව මෙන්ම එම අපහසුතාවය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තම අවශ්‍යතාවයන් සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී පැමිණ සිටි පිරිසට අවබෝධයක් ලබාදෙන ලදී.