නාවික හමුදා කිමිදුම් හා ගොඩ ගැනීමේ ඒකකයේ 50 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගණයේ අද (26) පැවැති නාවික හමුදා කිමිදුම් හා ගොඩ ගැනීමේ ඒකකයේ 50 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය. මෙම අවස්ථාවට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධාන ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික දියත් විධාන ආඥාපති රියර් අද්මිරාල් දයානන්ද නානායක්කාර මහතා, උතුරු නාවික විධාන ආඥාපති හා සංවිධාන කමිටුවේ සභාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විශ්‍රාමික කිමිදුම් අංශ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් නාවික හමුදා කිමිදුම් සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය. නාවික හමුදා කිමිදුම් ඒකකයේ නිර්මාතෘවරයා මෙන්ම එහි උන්නතිය සඳහා සුවිශාල මෙහෙවරක් සිදුකළ විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් ටී සෝමසුන්දරම් මහතා ගෞරවනීය ආරාධිතයා වශයෙන් සහභාගීවීම කිමිදුම් ඒකක ස්වර්ණ ජයන්ති උත්සවයේ සුවිශේෂී අවස්ථාවක් විය.

මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතු නාවික හමුදාධිපතිතුමන් නාවික හමුදා කිමිදුම් හා ගොඩගැනීමේ ඒකකය, එහි පනස් වසරක ඉතිහාසය තුළ ඉතා විශිෂ්ඨ දියුණුවක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය වශයෙන් පරිනත කිමිදුම් ඒකකයක් බවට අද දින පත්ව තිබෙන බවත්, යුද හමුදාවේ කොමාණ්ඩෝ සහ විශේෂ බලකා භට පිරිස්වල කිමිදුම් හැකියාවන් වර්ධනය කිරීම සඳහා පුහුණු කටයුතු සිදු කිරීම දක්වා ඉතා පුළුල් ලෙස විකාශනය වී ඇති බවත් සඳහන් කළේය. නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය ස්ථාපනය කිරීමට ප්‍රථම, උභය සංග්‍රාමයන් වලදී භට පිරිස් ගොඩ බැස්සවීම සඳහා කිමිදුම් හා ගොඩගැනීමේ ඒකක නාවිකයින් ලබාදුන් දායකත්වයද, දශක තුනක් පුරා විහිදුනු යුද ගැටුම්වල තීරණාත්මක අවස්ථාවන් හි දැඩි කැපවීමකින් යුතුව මුහුදු බෝම්බ ඉවත් කරමින් නෞකා හා යාත්‍රාවන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකල මෙහෙවර මෙන්ම, ගිලුනු නෞකාවන් හා යාත්‍රාවන් ගොඩගැනීම සඳහා ලබාදුන් සුවිශේෂී දායකත්වය නාවික හමුදාධිපතිතුමා එහිදී ගෞරවයෙන් සිහිපත් කරන ලදී. ආපදා අවස්ථාවන්හිදී විපතට පත්වන ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා මෙම ඒකකය විසින් සිදුකරන ජාතික මෙහෙවර මෙහිදී නාවික හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක් විය.

සටනේදී දිවිපිදූ නාවික විරුවන් සිහිකිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් ඇරඹි උත්සවය නාවික හමුදා කිමිදුම් සංදර්ශණයකින් හා වේදිකා නාට්‍යයකින් වර්ණවත් විය. ඉන් අනතුරුව කිමිදුම් ඒකකයේ නව යාත්‍රාංගණයට මුල්ගල තැබීම හා එම ඒකකයේ 50 වන සැමරුම වෙනුවෙන් ඉදිකළ සිහිවටනය නිරාවරණය ‍කිරීම නාවික හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී. තවද, නාවික හමුදා කිමිදුම් ඒකකයේ අභිමානවත් ඉතිහාසය හා ඔවුන්ගේ පුළුල් ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් කරමින් සකස් කරන ලද වෙබ් අඩවිය දියත් කිරීමද මෙම සංවත්සරයට සමගාමීව සිදු කෙරිණි.

එවකට ලුතිනන් වරයෙක්ව සිටි ටී සෝමසුන්දරම් මහතාගේ මූලිකත්වයෙන් නාවිකයින් පස් දෙනෙකු හා ඉතා සීමිත සම්පත් ප්‍රමාණයක් යොදාගනිමින් 1965 වර්ෂයේදී නාවික හමුදා කිමිදුම් හා ගොඩගැනීමේ ඒකකය ආරම්භ කරන ලදී. එලෙස ආරම්භ කරන ලද මෙම කිමිදුම් ඒකකය වෘත්තීමය නිපුණත්වයෙන් පරිපූර්ණ කිමිදුම් ඒකකයක් බවට පත්කරළීම සඳහා පසුකාලීනව එක්වූ නිලධාරීන් හා නාවිකයින් සිදුකළ කැපකිරීම් මනාසේ ඉවහල් විය.

විවිධ වකවානුවලට අයත් කිමිදුම් ඒකක සාමාජිකයින් සහ එම ඒකකයට අනුයුක්තව සිට සටනේදී දිවිපිදූ නාවික විරුවන්ගේ පවුල්වල සාමාජිකයින් හට සුහද ලෙස හමුවීමට මෙම සැමරුම් උළෙල තුළින් අවකාශ සැලසිණි.