පළමු පොපි මල නාවික හමුදාධිපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් දියත් කරනු ලබන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) ඩීඒ විජේගුණවර්ධන මහතා විසින් අද (28) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පළමු පොපි මල ප්‍රදානය කරන ලදී.

පළමු ‍ලෝක යුධ සමයේ සටන්බිමේදී තම රත් පැහැ රුධිරය වගුරවමින් ජීවිතය පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට ආරම්භ වූ මෙම පොපි මල් සැමරුම වර්තමානයේදී මව්බිම වෙනුවෙන් දිවි දුන් සියළුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබයි.

මව්බිමේ ආරක්ෂාව සඳහා ඔවුන් සිදු කළ කැපවීම සිහිපත් කරමින් පොපි මල් විකිණීමෙන් ලැබෙන මුදල් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා යොදවනු ලැබේ.