තුන්ප්‍රයාම තරඟයෙන් නාවික හමුදාව දස්කම් දක්වයි

උද්යෝගිමත් තරඟ රටාවකින් හා ආකර්ශනීය ත්‍යාගයන්ගෙන් සමන්විතව දික්ඕවිට ධීවර වරාය හා අවට ප්‍රදේශය මූලික කරගනිමින් නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කළ නාවික හමුදා තුන්ප්‍රයාම තරඟාවලිය අති සාර්ථක අයුරින් අද (1) නිමාවට පත්විය. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම මත සංවිධානය කෙරුණු මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා දිවයිනේ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සංගම් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 80ට වැඩි ප්‍රමාණයක් සහභාගී විය. 

ක්‍රීඩා ප්‍රවර්ධනය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන්නා වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, සිය ප්‍රථම තුන්ප්‍රයාම තරඟාවලියෙන් එම අදහස තවදුරටත් තීව්‍ර කිරීමට සමත් විය. මෙය දක්ෂතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට තම හැකියාවන් වර්ධනය කර ගැනීමටත්, දක්ෂතා ප්‍රදර්ශණය කිරීමටත් අගනා අවස්ථාවක් විය. නාවික හමුදාව විසින් ගන්නා ලද මෙම උත්සාහයට දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ගණනාවකගේම අනුග්‍රහය ලැබුණි. එය මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට මහඟු පිටුවහලක් වූවා සේම, ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට නාවික හමුදාව ගන්නා ප්‍රයත්නය අගය කිරීමක් ද විය.

දැඩි කැපවීමකින් හා විඳදරාගැනීමේ හැකියාවකින් යුතුව තරඟ කළයුතු මෙම තුන්ප්‍රයාම තරඟාවලිය, පිරිමි අංශය සඳහා මීටර් 750 පිහිනුම් ඉසව්වකින්ද, කිලෝමීටර් 20ක පාපැදි ධාවන ඉසව්වකින් සහ කිලෝමීටර් 5ක දිවීමේ ඉසව්වකින් සමන්විත විය. කාන්තා අංශය සඳහා මීටර් 250 පිහිනුම් ඉසව්වකින්ද, කිලෝමීටර් 10ක පාපැදි ධාවන ඉසව්වකින් හා කිලෝමීටර් 3ක දිවීමේ ඉසව්වකින් සමන්විත විය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය උස්වැටකෙයියාව, නාවික හමුදා ක්ලබ් හවුස් හිදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ස්වේච්ජා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා සහභාගී විය. මෙම අවස්ථාවට බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් මුදල් සහ අයවැය, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, නාවික හමුදා තුන්ප්‍රයාම සංචිතයේ සභාපති කොමදෝරු මෙරිල් සුදර්ශන මහතා සහ නාවික හමුදා තුන්ප්‍රයාම සංචිතයේ ‍ලේකම් කොමාණ්ඩර් රවීන්ද්‍ර තිසේරා මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්විය. මෙහිදී තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය හිමි කර ගැනීමට සමත්වුණු නාවික හමුදාවේ ජේඑම්එස්එන් කුමාර හට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදල සහ ශූරතා කුසලානය පිරිනැමිණි. කාන්තා අංශයේ ශූරතාවය හිමිකරගත් ගුවන් හමුදාවේ එල්කේජීකේකේ දසනායක හට මුදලින් රුපියල් පනස් දහසක් සහ ශූරතා කුසලානය පිරිනමන ලදී.

තරඟාවලියේ සමස්ථ ප්‍රථිඵල සටහන පහත දැක්වේ.
 
පිරිමි අංශය:
 
ශූරතාවය - ජේඑම්එස්එන් කුමාර (රු.100,000ක් සහ කුසලානය) - නාවික හමුදාව
අනුශූරතාවය - ඩීඑල් විජේසිරි (රු.75,000ක් සහ කුසලානය) - නාවික හමුදාව
තෙවන ස්ථානය - එච්එම්ඩීඩී බණ්ඩාර (රු.50,000ක් සහ කුසලානය) - නාවික හමුදාව

කාන්තා අංශය:

ශූරතාවය - එල්කේජීකේකේ දසනායක (රු.50,000ක් සහ කුසලානය) - ගුවන් හමුදාව
අනුශූරතාවය - කේඩීඒ ද සිල්වා (රු.25,000ක් සහ කුසලානය) - ගුවන් හමුදාව
තෙවන ස්ථානය - ඒඑම්පීඒ පතිරණ (රු.15,000ක් සහ කුසලානය) - ගුවන් හමුදාව