ඉන්දු-ලංකා නාවික අභ්‍යාසය SLINEX 2015 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ත්‍රිකුණාමළය මුහුදේ පැවති ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය SLINEX 2015 අද (1) සාර්ථකව නිමාවට පත්විය. කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට දෙරටෙහි නාවික හමුදාවන්ට මෙම  සාගරික අභ්‍යාසය ඉතා වැදගත් විය.

අවසන් දින පැවති නෞකා අභ්‍යාසය නැරඹීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධාන ආඥාපති, නාවික දියත් විධානයේ ආඥාපති, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් ඇතුළු පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාව වෙත‍ පැමිණියහ. මෙහිදී නෞකාවන් කණ්ඩායම් වශයෙන් හැසිරවීමේ අභ්‍යාස, වෙඩි තැබීමේ අභ්‍යාස, හෙලිකොප්ටර් යානාවක් මගින් නෞකා අතර භාණ්ඩ හා පුද්ගලයින් හුවමාරු කිරීමේ අභ්‍යාස, නෞකාවකට ප්‍රවිශ්ඨ වී සිදුකරන සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අභ්‍යාස හා සන්නිවේදන අභ්‍යාසයන් මෙම පිරිසට දැක ගැනීමේ අවස්ථාව ලැබිණි.

වරාය ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් හා මුහුදේදී සිදුකරන මෙහෙයුම් වශයෙන් අදියර දෙකක් යටතේ පුරා දින 6ක් පැවති මෙම නාවික අභ්‍යාසයට ශ්‍රී ලංකා නාවික හමුදාවේ “සයුර”, “සමුදුර” සහ “සාගර” යන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවන් ද, වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “නන්දිමිත්‍ර” නෞකාවද, වේග ප්‍රහාරක මුර නෞකාවන් වන “රණජය” සහ “රණරිසි” නෞකාවන් ඇතුළු වේග ප්‍රහාරක යාත්‍රා 6ක් ද සහභාගී වුණු අතර, ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් “කෝරා”, “කිර්පන්” යන මිසයිල ප්‍රහාරක නෞකාවන් හා ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන “සාවිත්‍රි” යන නෞකා ත්‍රිත්වය එක් විය.