අනලතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය

අනලතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නාවික යාත්‍රා දෙකක් ඒ සඳහා යෙදවිය. එහිදී විදුලි කණු 654ක්, විදුලි රැහැන් රෝල් 47ක්, විදුලි පරිණාමක 02ක් (transformers), විදුලිජනක යන්ත්‍රයක් හා දොඹකරයක් උතුරු නාවික විධානයට අනුයුක්ත L 820 හා L 821 නාවික යාත්‍රාවන් මගින් අනලතිව් දූපත දක්වා ප්‍රවාහනය කෙරිණි. පසුගිය ඔක්තෝබර් මස 13 වන දින ආරම්භ කෙරුණු මෙම කර්තව්‍ය සඳහා දින 19ක් ගතවිණි.

උතුරේ දූපත්වාසී ජනතාවගේ පොදු පහසුකම් ඉහළ නැංවීම සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගීත්වය මත, ඉතා කෙටි කලකින්ම ඔවුන්ගේ විදුලි බල සැපයුම් අවශ්‍යතාවයන් සපුරාගන්නට හැකිවනු ඇත.