උතුරු නාවික විධානය කරෙයිනගර් ප්‍රදේශයේ ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වය

උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු නාවික විධානය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව කරෙයිනගර් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් 2015 නොවැම්බර් මස 07 වන දින වෛද්‍ය ත්‍යාගරාජා මධ්‍ය විද්‍යාලයේදී ක්ෂේත්‍ර සෞඛ්‍ය සායනයක් පවත්වන ලදී.

යාපනය ශික්ෂණ රෝහලේ කායික හා අක්ෂි ශල්‍ය විශේෂඥයන් සහ වෛද්‍යවරුන්, කයිට්ස් මූලික රෝහලේ වෛද්‍යවරුන්,සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්ත වෛද්‍ය අංශ සහ ජංගම රසායනාගාර කාර්ය මණ්ඩලය, පිළිකා නිවාරණ ඒකකය, ජංගම අක්ෂි ඒකකය, බෝ නොවන රෝග නිවාරණ ඒකකය සහ රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාව මෙම වෛද්‍ය සායනය සාර්ථක කර ගැනීම සඳහා සහාය විය. යාපනය කළාප සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, යාපනය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය අධ්‍යක්ෂ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාජිකයන් සහ උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික වෛද්‍යවරුන් සහ නාවික පුද්ගලයන් රැසක්ද එම අවස්ථාව සඳහා එක්විය.

මෙම සායනය මගින් පාසල් ළමුන්ගේ සෞඛ්‍ය පරීක්ෂාව, බෝ වන රෝග පිළිබද රසායනාගාර පරීක්ෂණ, කාන්තාවන් සහ ‍දරුවන්ගේ සායන, පිළිකා කල්තියා හදුනා ගැනීමේ පරීක්ෂණ, පවුල් සෞඛ්‍ය සහ විශේෂඥ අක්ෂි ප්‍රථිකාර සිදු කරන ලදී.

රෝගීන් 1320 කට පමණ එම සායනය මගින් වෛද්‍ය ප්‍රථිකාර සහ රසායනාගාර වෛද්‍ය පරීක්ෂණ සිදු කරන ලදී. එයට අමතරව පෝෂණ අතිරේකයන් සහ වියළි ආහාර සළාක 500 ක් ද ප්‍රදේශයේ දුප්පත් පවුල්වල පාසල් යන දූ දරුවන් සඳහා ලිපි ද්‍රව්‍ය සහිත ඇසුරුම් 200 ක ප්‍රමාණයක්ද නොමිලේ බෙදා දෙන ලදී. තවද, ප්‍රදේශයේ දරු දැරියන් සඳහා අතිරේක ආහාරවේලක් ලබා දීමද එහිදී සිදු කෙරිණි.

යාපනය අර්ධද්වීපයේ කරෙයිනගර්, මාදගල්, කයිට්ස්, අනලතිව්, එළුවතිව් සහ අනෙකුත් දූපත්හි පදිංචි සිවිල් වැසියන් එම සෞඛ්‍ය, සායනය මගින් වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට පහසුකම් සැපයීම පිළිබදව නාවික හමුදාවට සිය හෘදයාංගම ස්තුතිය පිරිනමන ලදී. නාවික හමුදා ප්‍රජා සංවර්ධන සහ සුභසාධන වැඩසටහන් මගින් සියළු ජන වර්ගයන් අතර සමගිය, සහජීවනය සහ යහපැවැත්ම වැඩිදියුනු කිරීම අපේක්ෂා කරනු ලබන අතර, ඒ යටතේ 2010 – 2012 යන වර්ෂයන් තුල උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කරන ලද වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ආරම්භ කරන ලද සුභසාධන වැඩසටහනක් වශයෙන් මෙම ක්ෂේත්‍ර සෞඛ්‍ය සායන වැඩසටහන මගින් යාපනය අර්ධද්වීපයේ ජනතාව හට පහසුවෙන් තම වෛද්‍ය ප්‍රථිකාර ලබා ගැනීමට හැකියාව සළසා ඇත.