නාවික හමුදා හෙද පුහුණු පාසල නාවික හමුදාධිපති විසින් විවෘත කරයි

නාවික හමුදාවට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති නාවික හෙද පුහුණු පාසල අද (13) දින වැලිසර නාවික රෝහල් සංකීර්ණයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කෙරිණි. අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතා, අධ්‍යක්ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් උදය බණ්ඩාර මහතා, ඇතුළු නාවික හමුදා මූලස්ථානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා හෙද පුහුණු පාසලේ කථිකාචාර්යවරු, විදුහල්පතිනිය, උපදේශක මණ්ඩලය සහ සායනික උපදේශකවරු සන්නද්ධ සේවාවක් යටතේ ක්‍රියාත්මක වන පළමු හෙද පුහුණු පීඨය විවෘත කිරීමේ අවස්ථාව සඳහා එක්විය.

ප්‍රායෝගික දැනුම හා වෛද්‍ය තාක්ෂණය ලබා දෙමින් වෛද්‍ය සහයක නාවිකයන් අතරින් ″හෙද විශිෂ්ඨයන්″ බිහි කිරීම මෙම නාවික හෙද පුහුණු පාසලේ අභිප්‍රාය වන අතර, 35 දෙනෙකුගෙන් යුත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත පළමු හෙද කණ්ඩායම මෙම හෙද පුහුණු පාසලට අනුයුක්තව පුහුණුව ලැබීමට නියමිතය.