පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කරාතේ ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ නාවිකයින් නාවික හමුදාධිපතිගේ ඇගයුමට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවති 8වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට කරාතේ අනුශූරතාවය හිමිකරදීමට සමත්වූ නාවික හමුදා කරාතේ ක්‍රීඩකයින් 5 දෙනෙකු ඊයේ (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට ලක්විය.

1975 වර්ෂයේ ආරම්භවූ ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ හතලිස් වසරක ඉතිහාසය තුළ මෙතෙක් ලබාගෙන ඇති ඉහළම දක්ෂතාවය පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සුළු නිලධාරී බීඑම් පියසේන, බලනැවි ඒජීකේ අතුකෝරළ සහ සාමාන්‍ය නැවි ආර්ඩබ්එම්එස්ටීඒබී රාජපක්ෂ කාටා කණ්ඩායම් ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගැනීමට සමත්වූ අතර, බලනැවි එස්ටීඑස් සමරසේකර කුමිතේ කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කම හා බල කාන්තා නැවි ශශිනිකා කිලෝග්රෑම් 68 කුමිතේ ඒකල ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය. කාටා කණ්ඩායම් ඉසව්වෙන් රන් පදක්කම දිනාදුන් සාමාන්‍ය නැවි ආර්ඩබ්එම්එස්ටීඒබී රාජපක්ෂ කාටා ඒකල ඉසව්වෙන් රිදී පදක්කම දිනාගනිමින් ශ්‍රී ලංකාවට කරාතේ අනුශූරතාවය හිමිකර දීමට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ලදී.