ත්‍රිකුණාමල‍ වියාබ මූලස්ථානයේදී විශේෂ යාත්‍රා බලඝණ දිනය සමරයි

ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ දිනය ත්‍රිකුණාමලයේ පිහිටි වියාබ මූලස්ථානයේදී අද (14) දින උත්සවාකාරයෙන් සමරනු ලැබීය. එහි පළමු අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, විශේෂ යාත්‍රා බලඝණයේ විශ්‍රාම ලැබූ නාවික පුද්ගලයන්, එම බලඝණයේ නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

එහි පළමු ක්‍රියාකාරකම ලෙස නොවැම්බර් මස 13 වන දින සියළු රණවිරුවන්ට සෙත් පතා ධර්ම දේශනාවක් පැවැත්වුණු අතර, මාතෘ භූමිය ආරක්ෂා කිරීම සඳහා තම ජීවිතය පූජා කළ විශේෂ යාත්‍රා බලඝණ රණවිරුවන් සිහිකිරීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇගයීම සඳහා නොවැම්බර් මස 14 වන දින විශේෂ උත්සවයක් ද සංවිධානය කෙරිණි. එහිදී මව්බිම වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා විසින් තම රට වෙනුවෙන් විශේෂ යාත්‍රා බලඝණ විරුවන් සිදුකළ උදාරතර කැපකිරීම් අගයනුවස් එම බලඝණයේ විශ්‍රාමික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හට විශේෂ සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදී. එම උත්සවයෙන් අනතුරුව මව්බිම වෙනුවෙන් ජීවිත පූජාකළ සියළුම රණවිරුවන්ට හා සේවයේ නියුතු සියළුම රණවිරුවන්ට සෙත්පතා සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි.

විශේෂ යාත්‍රා බලඝණ දින සැමරුම් උත්සවයට සහභාගී වූ දෙමාපියන් සහ පවුල්වල සාමාජිකයන් සමග නාවික හමුදාධිපතිතුමන් සුහද පිළිසඳරක යෙදුන අතර, එහිදී එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමටත් ඔවුන්ගේ අතීත අත්දැකීම් බෙදාහදා ගැනීමටත් ඉඩ සලසා දෙන ලදී. එමෙන්ම විශේෂ වැඩසටහනක් ලෙස ඔවුන් හට කෝනේශ්වරම් කෝවිල වැඳපුදා ගැනීමට සහ ත්‍රිකුණාමලය වරාය තුළ බෝට්ටු සංචාරයක් සඳහා ද අවස්ථාව සලසා දෙන ලදී.

1993 වර්ෂයේදී විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ කරන විට එහි පළමු අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරන ලද්දේ එවකට ලුතිනන් කොමාණ්ඩර්වරයෙක්ව සිටි වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වේ. මෙම බලඝණය මගින් ප්‍රභූ ආරක්ෂාව, සමුද්‍ර ජල තරණය, විශේෂ ගොඩබිම් මෙහෙයුම් මෙන්ම ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සිදුකෙරෙන අතර, මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වන කාල සීමාව තුලදී ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ඉතා සුවිසල් කාර්යභාරයක් මෙම බලඝනය මගින් ඉටු කර ඇත.

දශක දෙකකට වැඩි විශේෂ යාත්‍රා බලඝණ ඉතිහාසය තුළ නිලධාරීන් හය දෙනෙකු හා නාවිකයින් 46 දෙනෙකු මව්බිම වෙනුවෙන් දිවිපුද කර ඇති අතර, ත්‍රස්තවාදීන් හා යුද වැදී තුවාල ලැබූ නිලධාරින් සිව් දෙනෙකු සහ නාවිකයින් තිදෙනෙකු තවමත් සිය නොමද සේවය විශේෂ යාත්‍රා බලඝණය වෙනුවෙන් ලබා දෙනු ලබයි.