ගං වතුරෙන් යටවූ නච්චිකුඩා, මන්දගල් ආරු පාලමෙන් සිවිල් ජනතාව එගොඩ කිරීමට නාවික හමුදාවේ සහාය

පූනරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ නච්චිකුඩා පොලීසිය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා‍ පණ්ඩුකාභය ආයතනයේ ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝනයේ නාවික පුද්ගලයන් විසින් 2015 නොවැම්බර් මස 15 සහ 16 යන දිනයන්හිදී අයහපත් කාලගුණික තත්ව‍ය හේතුවෙන් ජලයෙන් යටවී තිබූ යාපනය-මන්නාරම (A32) ප්‍රධාන මාර්ගයේ මන්දගල් ආරු පාලමෙන් සිවිල් වැසියන් එගොඩ කිරීම සඳහා සහාය විය. නාවික හමුදාව විසින් ලබා දෙන ලද මෙම සේවාව මගින් යාපනයේ සහ මන්නාරමේ සිවිල් පුද්ගලයින් 700 දෙනෙකුට පමණ පහසුකම් සපයන ලද අතර, පාලම හරහා ක්‍රියාත්මක වන සිවිල් බෝට්ටු සේවාව සඳහා ද නාවික හමුදා ජීවිතාරක්ෂකයින්ගේ සහාය ලැබිණි.

ගංවතුරින් යටවී ඇති පාලම හරහා සිවිල් වැසියන් ආරක්ෂිතව එ‍ගොඩ කිරීමට පමණක් නොව ඔවුන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා ද නාවික හමුදාව දැක්වූ සහයෝගය පූනරීන් ප්‍රාදේශීය ලේකම්ගේ ඇගයීමටද ලක්විය.

නාවික නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ යොදවා තිබූ නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් සඳහා ජීවිතාරක්ෂකයින්, කිමිදුම්කරුවන්, ඉංජිනේරු කාර්මික නාවිකයින් සහ වෛද්‍ය සහායක නාවිකයින් ඇතුළත් කර තිබිණි.