2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ‍ඓතිහාසික ගාලු නගරයේදී ආරම්භවෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩ සයවන වසරටත් සංවිධානය කරනු ලබන 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඓතිහාසික ගාලු නගරයේදී නොවැම්බර් මස 23 වන දින පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී පැවැත්වෙන මෙවර සමුළුව, රටවල් 37ක සහ ජාත්‍යන්තර සංවිධාන 10ක දෙස් විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් “පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව යටතේ නොවැම්බර් මස 23 සහ 24 යන දිනයන්හි පැවැත්වෙනු ඇත. සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අතර, එහි සමාරම්භක දේශනය ගරු අග්‍රාමාත්‍ය තුමන් විසින් ඉදිරිපත් කරනු ඇත. නාවික ප්‍රධානීන් සිව් දෙනෙකු ඇතුළු විදෙස් නියෝජිතයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් ද මෙවර සමුළුවට සහභාගී වේ.

සෞභාග්‍යය සඳහා මංපෙත් විවර කරගත හැකි සම්පත් රාශියක් සාගරය සතුව පවතී. එම සම්පත් නිවැරදි භාවිතය, සියලු ජාතීන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒවා යොදා ගැනීම, කලාපීය ආරක්ෂාව සඳහා එහි ඇති වැදගත්කම, අප රටේ ආර්ථික පැවැත්ම හා ලෝක සාමය සඳහා ඇති උපයෝගීත්වය සහ සියලුම පාර්ශවයන් හට එක්ව කටයුතු කිරීම සඳහා ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට අපේක්ෂිතය. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම සමුළුව, නාවික හමුදාවන්ට පොදුවූ කරුණු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සහ ඔවුන්ගේ වටිනා දැනුම් සම්භාරය හා සුවිශේෂී අදහස් හුවමාරු කරගන්නට අවස්ථාව උදා කර දෙනු ඇත. නාවික හමුදාව සෑම වසරකම වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙමින් සිදුකරන “ගාලු කථිකාව අන්තර්ජාතික සමුළුව” ඒ සඳහාම ආවේණික වූ විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ විද්වත් අදහස් හුවමාරු කරගන්නා මනා සංවාදයකි.

අතිගරු ජනාධිපති හා සන්නද්ධ සේවා සේනාධිනායකයාණන්ගේ දූරදර්ශී නායකත්වය යටතේ මෙම සමුළුව අඛණ්ඩ සයවන වසරටත් පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිය හා විශ්වාසය ලබාදී ඇති අතර, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මූලිකත්වය යටතේ සාගරික ආරක්ෂාව ශක්තිමත් කරගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව නිවැරදි මාවතක මෙහෙයවීමට මෙම සමුළුව තුළින් මනා පිටිවහලක් ලැබෙනු ඇත.

“පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව මුල්කර ගනිමින් ඓතිහාසික ගාලු නගරයේ පැවැත්වෙන මෙවර සමුළුව තුළින් වත්මන් සාගරික අභියෝගයන් ජයගැනීම සඳහා ඵලදායි යාන්ත්‍රනයක් සකස් කරගැනීම සඳහා මෙන්ම කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටළු රාශියකට පිළිතුරු සොයා ගැනීම සඳහා මං සැලසෙනු ඇත.

ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.com නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.