පුළුල් සාගරික සබඳතාවයක් ගොඩනගමින් 2015 ගාලු කථිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සයවන වසරටත් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (24) ගාල්ල, ලයිට්හවුස් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. “පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව යටතේ පැවති මෙවර සමුළුව සඳහා රටවල් 36ක සහ ජාත්‍යන්තර සංවිධාන 10ක විදෙස් නියෝජිතයින් 109 දෙනෙකු සහ මෙරට නියෝජිතයින් 107 දෙනෙකු ඇතුළු සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් දෙසියයකට වැඩි පිරිසක් සහභාගී විය.

නාවික හමුදාව වැඩි ප්‍රමුඛත්වයක් ලබාදෙමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගාලු කථිකාව සම්මන්ත්‍රණය කලාපීය සාගරික සහයෝගීතාවයන් හා ලෝක මට්ටමේ පොදු සාගරික අභියෝගයන්ට විසඳුම් සාකච්ජා කිරීම මූලික කරගනිමින් පැවැත්වුණු අතර, ගෝලීය වශයෙන් සාගරික ආරක්ෂාවට වැදගත්වන කරුණු බොහෝමයක් පිළිබඳ හරවත් කතිකාවක් ගොඩනැගීමට මෙවර සමුළුවෙන් හැකියාව ලැබිණි.

මෙහිදී පැමිණි විද්වතුන් විසින් පහත දේශන ඉදිරිපත් කරන ලදී.

  • “සාගරික ආරක්ෂාව සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී නිර්මිතයන් ගොඩනැගීම හා එක්ව කටයුතු කිරීමේ ඇති වැදගත්කම” - ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර්කේ දෝවන් මහතා
  • “සාගරික ආරක්ෂාව හා අන්න්‍යෝන්‍ය සමෘද්ධිමත් බව මූලික කරගත් සාමූහික ප්‍රවේශය හා ඒ සඳහා චීනයේ කාර්යභාරය” - චීන මහජන විමුක්ති (නාවික) හමුදාවේ නැගෙනහිර බලඝණයේ නියෝජ්‍ය ප්‍රධානී, රියර් අද්මිරාල් ගු ෂියෑන්බින්ග් මහතා
  • “සාගරික ආරක්ෂාව සඳහා සහයෝගී උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද ඉදිරි දැක්ම” - ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ බටහිර පැසිෆික් සැපයුම් ඒකක ආඥාපති, රියර් අද්මිරාල් චාර්ලස් විලියම්ස් මහතා
  • “එක්ව කටයුතු කිරීම තුළින් සාගරික ආරක්ෂාව කෙරෙහි ඇති අභියෝග අවමකර ගැනීම” - ජපාන නාවික හමුදාවේ මෙහෙයුම් ඇගයීම් අංශ ප්‍රධානී, කපිතාන් නඔයා හෝෂි මහතා
  • “විනිවිදභාවයෙන් යුක්ත වූ ආරක්ෂක ව්‍යුහයක් තුළින් ඉන්දියානු සාගරයේ අභියෝග සහ ඉඩප්‍රස්ථා ජයගැනීම” - පකිස්ථාන නාවික හමුදාවේ නියෝජ්‍ය නාවික ප්‍රධානී (පුහුණු හා ඇගයීම්), රියර් අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් මහතා
  • “අවිධිමත් සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රථිලාභදායි ගිවිසුම් සංවර්ධනය හා එහි අභියෝග” - ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ යුද්ධෝපායික විධානයේ නාවික ප්‍රධානී, කොමදෝරු පීටර් ලැවර් මහතා
  • “සරණාගතයින් හා රැකවරණ පතන්නන් ගේ ආරක්ෂාව සහ අයිතීන් සුරැකීම සඳහා වූ යාන්ත්‍රනයක අවශ්‍යතාවය හා එහි කොටස්කරුවන්” - එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ, ඔලීවියර් මැඩ්ජෝරා මහතා
  • “හොරබඩු ජාවාරම් හා නීතිවිරෝධී සංක්‍රමණ ජාලයන් මැඩලමින්, සහයෝගීත්වය හා බෙදාහදාගැනීම තුළින් ඉදිරියට” - තායිලන්ත නාවික හමුදාවේ සහකාර නාවික ප්‍රධානී, අද්මිරාල් ග්‍රේයිවුට් වට්ටනාටම් මහතා
  • “පුළුල් සංක්‍රමණ කළමණාකරනයක් සඳහා වූ ඒකාබද්ධ රාමුවක අවශ්‍යතාව” - ජාත්‍යන්තර සංක්‍රමණ පිළිබඳ සංවිධානයේ ග්‍යුසෙපේ ක්‍රොසෙට්ටි මහතා
  • “පුළුල් සාගරික සහයෝගීතාවය තුළින් සයුර සුරැකීම - මැදපෙරදිග හා ඉන්දියානු සාගරයේ ආරක්ෂක අභියෝග සඳහා ඒකාබද්ධ සාගරික බලකායන්හි එළැඹුම” - රාජකීය නාවික හමුදාවේ, ඒකාබද්ධ සාගරික බලකායේ, කොමදෝරු විල් වැරෙන්ඩර් මහතා
  • “එක්සත් ජනපද නාවික අපරාධ විමර්ශන සේවාවේ දැක්ම හා අනෙකුත් නාවික හමුදාවන්ගේ / ඒ හා සමාන සේවාවන්ගේ අභිවෘද්ධිය සඳහා එහි ඇති ප්‍රථිලාභයන්” - එක්සත් ජනපද නාවික අපරාධ විමර්ශන සේවාවේ විශේෂ නියෝජිත, මයිකල් ඒ මයික්ලීන් මහතා
  • “සාගරික කලාපයන්හි මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධ ජාලයන් මැඩළීම සඳහා සාමූහික ප්‍රවේශයක්” - එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ, ඇලන් කෝල් මහතා
  • “ආර්ථික යථාර්තයන් හා ආසියා පැසිෆික් කලාපයේ සාගරික ආරක්ෂක සහයෝගීත්වය ඉහල නැංවීම” - එක්සත් රාජධානියේ කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතාවයන් සඳහා වූ දේශපාලනික හා ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ දේශක ආචාර්ය ක්‍රිස්ටියන් බියුගර් මහතා
හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා සම්මන්ත්‍රණයේ නිමාව සනිටුහන් කරමින් දේශනයක් පැවැත්වූ අතර, එහිදී දෙදින සමුළුවේ පැවති දේශනයන්හි කැපී පෙනුනු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් සමාලෝචනයක යෙදුනු අතර, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එය ශාස්ත්‍රීය මට්ටම දක්වා ඉහළට ඔසවා ඇති බව සඳහන් කළේය. ආසියානු පැසිෆික් කලාපයන්හි ආර්ථිකය සීඝ්‍ර ලෙස සංවර්ධනය වෙමින් පවතින නිසා ඒ හා සාපේක්ෂව සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනයන්හි වැඩිවීමක් දක්නට ඇති බවද පෙන්වාදුන් අතර, ඒ අනුව ඉන්දු-පැසිෆික් සාගර කලාපයන් ආශ්‍රිතව උපාය මාර්ගික සාගරික ආරක්ෂාව කෙරෙහි සංකීර්ණ බවක් ගොඩනැගී ඇති බවද සඳහන් කළේය.

සාගරික කටයුතු පිළිබඳ ඔහුගේ පුළුල් දැනුම බෙදාගනිමින් අදහස් දැක්වූ අද්මිරාල් කොළඹගේ මහතා, ඉන්දියානු සාගරය අද වන විට දියුණු ආර්ථිකයක් ගොඩනගා ගනිමින් සහ සාම්ප්‍රදායික නොවන ආරක්ෂක අභියෝගයන්ට පුළුල් විසඳුම් සොයා ගනිමින් 21 වන සියවසේ සීඝ්‍ර දියුණුවක් කරා යන මාවතකට යොමුව ඇති බවද සඳහන් කළේය. එවැනි පසුබිමක් තුළ, පුළුල් සහයෝගීත්වයෙන් යුත් සබඳතාවයන්හි වැදගත්කම හා සියලු පාර්ශවයන්හට එතුළින් ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව ඔහු විස්තරාත්මක සමාලෝචනයක යෙදිනි. ඉන්දියානු සාගරය පදනම් කරගත් සීතල යුද්ධයක පසුබිම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවද ඔහු සිය කතාවේදී සඳහන් කරන ලදී. සිය සමාලෝචන දේශනය අවසන් කරමින් අද්මිරාල් කොළඹගේ මහතා මෙම සමුළුවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම හා පුළුල් සාගරික ආරක්ෂාවක් සඳහා මෙම සම්මන්ත්‍රනය ඉදිරියටත් පවත්වාගෙන යායුතු බවද අවධාරනය කරන ලදී.

ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රනයේ සංවිධාන කමිටුවේ ප්‍රධානී, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා විසින් සමුළුවේ ස්තූති කතාව සිදුකළ අතර, වාර්ෂිකව පවත්වනු ලබන මෙම කතිකාව තුළින් සාගරික ආරක්ෂාව සම්බන්ධයෙන් ගොඩනැගෙන පුළුල් සාකච්ජාවන් හා විශ්ලේශනයන් නව මාවතකට පිවිස ඇති බවද සඳහන් කරන ලදී. සමුළුව වඩාත් අර්ථාන්විත කරමින් ගරු අග්‍රාමාත්‍යතුමන් සිදුකළ හරවත් දේශනය හා එතුමන්ගේ සහභාගීත්වය වෙනුවෙන් සිය ගෞරවනීය ස්තූතිය ප්‍රකාශ කරන බවද සඳහන් කළ ඔහු සන්ධ්‍යාවේ පැවති නිල රාත්‍රී භෝජනය සඳහා එක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සිදුකළ කතාව කෘතවේදී ඇගයීමට ලක්කරන ලදී.

තවද මෙම සම්මන්ත්‍රනයට සහභාගීවූ හා ඒ සඳහා දිරියක් වූ දෙස් විදෙස් නියෝජිතයින්, ආයතන හා සංවිධානයන් හි විද්වතුන් හට සිය ‍ගෞරවනීය ස්තූතිය පළ කළ රියර් අද්මිරාල් වෑත්තෑව මහතා, සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම කෙරෙහි ඔවුන් සතු කැපවීම හා කැමැත්ත සැමට සුරක්ෂිත හෙට දිනක් සඳහා මෙන්ම සාගරික ආරක්ෂාවේ ස්ථාවරත්වය සඳහා ඉහවල් වනු ඇති බවද සඳහන් කළේය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විද්වත් වෘත්තිකයින් මෙම සමුළුවේ සාර්ථකත්වය සඳහා ලබාදුන් දායකත්වය හා සංකීර්ණ ගැටළු රාශියකට විසඳුම් ගෙන දිය හැකි ඔවුන් සතු දැනුම ගෝලීය පොදු යහපත වෙනුවෙන් යොදාගැනීමට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම, නාවික හමුදා කාර්ය දින දර්ශනයේ ප්‍රමුඛතම ස්ථානයක් ලබාගෙන ඇති මෙම අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය නොකඩවා ඉදිරියටත් පවත්වාගෙන යාමට බැඳී සිටින බවද අවධාරනය කරන ලදී. මෙහිදී සමුළුවට සහභාගී වූ හා ඒ සඳහා ශක්තියක් වූ සියලුම පාර්ශවයන් හට නාවික හමුදාධිපතිතුමන් වෙනුවෙන් තම නොමද ස්තූතිය පළ කරන බව සඳහන් කළ එතුමන්, දකුණු නාවික විධාන ආඥාපතිතුමන් ඇතුළු ඔහුගේ කාර්යමණ්ඩලය මෙහි සංවිධාන කටයුතු සඳහා සිදුකළ දැඩි කැපවීම සමුළුවේ සාර්ථකත්වය සඳහා ඉවහල්වූ බව ද සඳහන් කළේය.