දකුණු මුහුදේදී තුවාල ලැබූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාව සහාය වේ
 

දකුණු මුහුදේ ධීවර කටයුතු වල යෙදී සිටියදී ඇසක් තුවාල වීමට ලක්වූ ධීවරයකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජයසාගර නෞකාව ඒ සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කළ අතර, ඒ අනුව තුවාල ලැබූ ධීවරයා අද (04) උදෑසන ‍ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

ධීවරයින් පස් දෙනෙකු සමගින් ‘යසඉසුරු’ නැමති මෙම බහුදින ධීවර යාත්‍රාව ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සඳහා පසුගිය නොවැම්බර් මස 10 වන දින බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත.

නාවික හමුදා මූලස්ථානය වෙතින් ලබාදුන් උපදෙස් වලට අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත කොට තිබූ ජයසාගර නෞකාව, තුවාල ලැබූ ධීවරයා ගොඩබිම වෙත කඩිනමින් රැගෙන ඒමට කටයුතු කළ අතර, එහිදී ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.