සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සුහද හමුවක් ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේදී පවත්වයි

සටනේදී දිවිපිදූ සහ ආබාධිත තත්වයට පත්වූ නාවික රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුවදුක් සොයා බැලීම සඳහා සංවිධානය කළ වාර්ෂික සුහද හමුව තලාතුඔය, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේදී දෙසැම්බර් මස 05 වන දින පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.

මෙම සුහද හමුව සඳහා මහනුවර, නුවරඑළිය, බදුල්ල හා කෑගල්ල යන දිස්ත්‍රිකයන් හි රණවිරු පවුල් 272කට අයත් සාමාජිකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය. ඒ සඳහා සහභාගී වූ සියලුම සාමාජිකයින් හට දළදා සමිඳුන් වැදපුදා ගැනීමට අවස්ථාව සලසා දුන් අතර, ඉන් අනතුරුව එම පිරිස ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනය වෙත කැඳවාගෙන එනු ලැබීය. දිවි පුදකළ රණවිරුවන් සිහි කිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් ආරම්භ කල සුහද හමුව, නාවික හමුදා වාද්‍ය වෘන්දයේ සංගීතයෙන් වර්ණවත් විය. ඉන් අනතුරුව පැමිණ සිටි සියලු දෙනා හට දිවා ආහාරය ලබාදීමට කටයුතු කළ අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ සොයා බැලීම සඳහා සංවිධානය කළ වෛද්‍ය සායනය වෙත ද යොමු කෙරිණි. එමෙන්ම වැටුප්, විශ්‍රාම වැටුප්, වන්දි හිමිකම් සහ රක්ෂණාවරණ සම්බන්ධයෙන් ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ද ඔවුන්ට අවස්ථාව සලසාදෙන ලදී.

කුඩා දරුවන් වෙනුවෙන් විනෝදාත්මක වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබූ මෙම සුහද හමුවේදී 2016 වසර වෙනුවෙන් දින දර්ශනයන්ද, දරු දැරියන් වෙනුවෙන් තෑගි භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ ලබාදීම ද සිදු කෙරිණි. තවද, පැමිණි සියලුම පවුල් සඳහාම රුපියල් හාර දහසක පමණ වටිනාකමින් යුත් වියළි ආහාර සලාකයක් හා රුපියල් දස දහසක වටිනාකමින් යුත් චෙක්පත බැගින් ලබාදීම ද නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන් අතින් සිදුකෙරිණි.