නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය අති උත්කර්ශවත් අයුරින් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැලිසර, ත්‍රිකුණාමළය හා ගාල්ල ප්‍රදේශයන් හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පෙරපාසල් ත්‍රිත්වයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2015 දෙසැම්බර් මස 06 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ශ්‍රවනාගාරයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය සහභාගී විය.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, යමුණා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ සංවිධානය කෙරුණු මෙම විවිධ ප්‍රසංගයේදී ගායන, නර්තන, නාට්‍ය ඇතුළු විවිධාංග රැසක් ඉදිරිපත් කළ සිඟිති දූ දරුවන් සිය කුසලතා විදහා දක්වමින් උත්සවය වර්ණවත් කිරීමට සමත්විය. මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, නාවික හමුදා මූලස්ථානයට හා බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, පෙර පාසලේ ගුරුභවතුන් සහ දූ දරුවන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී විය.

කුසලතා පිරි දූ දරුවන්ගේ විචිත්‍රවත් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් පැමිණ සිටි සියල්ලන්ගේ ප්‍රශංසාවට හා නොමද ඇගයීමට ද ලක්විය. එහිදී දක්ෂතා දැක්වූ දරු දැරියන් වෙත ත්‍යාගයන් ප්‍රදානය කිරීම චතුරිකා සිරිසේන මහත්මිය විසින් සිදු කළ අතර, දකුණු, නැගෙනහිර හා බටහිර විධාන පෙරපාසල් තුනෙහි විශේෂ දක්ෂතා සහිත දරුවන් තිදෙනෙකු වෙනුවෙන් විශේෂ සමරු ත්‍යාගයන් 03ක් ද මෙහිදී ප්‍රදානය කරන ලදී. මෙම උත්සවයට සමගාමීව තෝරාගත් නාවික පුද්ගලයින් 5 දෙනෙකු වෙනුවෙන් සේවා වනිතා සුභසාධක ව්‍යාපෘතිය මගින් රුපියල් ලක්ෂය බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීමක් ද සිදුවිය.

නාවික පුද්ගලයින්ගේ වයස අවුරුදු 3ත්, 5ත් අතර වයසේ පසුවන දරුවන් හට සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන්ම අධ්‍යාපනය හැදෑරිය හැකි පරිදි හා බාහිර ක්‍රියාකාරකම් රාශියකින් ද සමන්විත වන ලෙස මෙන්ම දරුවන් හට වඩා සුරක්ෂිත පරිසරයකින් යුතුව ඉගෙනුම ලැබීමට හැකිවන පරිදි මෙම නාවික පෙරපාසල් ත්‍රිත්වය ස්ථාපනය කොට ඇත.