නාවික දිනය නිමිත්තෙන් දළදා සමිඳුන් අභියස ආගමික වතාවත් රැසක්

65 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද බෞද්ධාගමික වැඩසටහන් රැසක් දෙසැම්බර් මස 08 සහ 09 යන දිනයන්හි දළදා සමිඳුන් අභියසදී පැවැත්විණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුණා විජේගුණරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ආගමික වැඩසටහන් සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගී විය.

දළදා සමිඳුන් උදෙසා පවත්වන ලද ගිලන්පස පූජාව දෙසැම්බර් මස 08 වන දින සන්ධ්‍යාවේ පැවැත්වුණු අතර, පසුදින උදෑසන නාවික හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමිපාණන් වහන්සේ හා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද හා අනුශාසනා ලබාගන්නා ලදී. ඉන් අනතුරුව, දළඳා සමිඳුන් උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පවත්වන ලද අතර, මව්බි‍ම වෙනුවෙන් දිවිපුද කළ නාවික රණවිරුවන් සිහිපත් කරමින් හා නාවික හමුදාවේ සියළුම සාමාජිකයින් හට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංඝයා වහන්සේලා 25 නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි. මේ සඳහා නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.