නාවික නර්තන ප්‍රසංගය (Navy Ball) - 2015
 
 

මුහුදු සංග්‍රාමික බලකායන් සඳහාම ආවේණික වූ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වලින් සපිරි ශ්‍රී ලංකා නාවික හමුදාව සමාජශීලී පරිසරයක් හා උසස් විනෝදාස්වාදයක් ලබාදීම සඳහා ද පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටියි. එය තවදුරටත් සඵල කර ගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු 2015 නේවි බෝල් නර්තන ප්‍රසංගය දෙසැම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ පිහිටි බටහිර නාවික විධාන මූලස්ථාන නිලධාරී නිවස්නයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ යමුණා විජේගුණරත්න මහත්මියගේ ආරාධනය පරිදි, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. එහි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාධිපති, ගුවන් හමුදාධිපති, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ හා ඔවුනගේ භාර්යාවෝද සහභාගී වූහ.

නිහඬ සේවයක් ලෙස ද හැඳින්වෙන නාවික හමුදාව සිය නිලධාරීන් හා නිලධාරිනියන් සෑම විටම සාම්ප්‍රදායික චාරිත්‍රයන් වලට ගරු කරන ප්‍රශස්ථ ගති පැවතුම් සහ මහත්මා ගුණයෙන් යුත් පිරිසක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි කේන්ද්‍රීය අංගයක් වන “සම්ප්‍රදායන් සුරැකීම” නාවික හමුදාවේ “ජීවය” රඳා පවතින ප්‍රධානතම බල ප්‍රභවයයි. ඒ අනුව යමින් වසර 35කට පසුව බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මල් ඵල ගන්වමින් නාවික හමුදා නර්තන ප්‍රසංගය “නැව් බඳ මත රඟමු” (Rock on Deck) යන තේමාව යටතේ 2014 වර්ෂයේදී නව ජීවයක් ලබා ආරම්භ වුණු අතර, එමගින් නීල වර්ණ ඇඳුමින් සැරසුණු නිලධරුවන් සහ නිලධාරිනියනට කන්කලු සංගීතයට නර්තනයේ යෙදීමට ඉඩ සලසා ඇත.

චාරිත්‍රානුකූලව සිදුකරන ලද හිරු අස්ථය එම සන්ධ්‍යාව වර්ණවත් කළ අතර, එයට අනුකූලව ක්‍රියාවට නැංවුණු ධජ ස්ථානගත කිරීම නර්තන ප්‍රසංගයට සාම්ප්‍රදායික බවක් එක් කරන ලදී. නාවික හමුදා වාද්‍ය වෘන්දයේ හා ආරාධිත වාද්‍ය වෘන්දයන්ගේ මියුරු සංගීතයෙන් සහ නාවික හමුදා නර්තන කණ්ඩායමේ සුන්දර නර්තනයන්ගෙන් හැඩ ගැන්වුණු එම සන්ධ්‍යාවේදී 2015 නාවික රැජිණිය වශයෙන් ශල්‍ය වෛද්‍ය කොමදෝරු සේන රූප ජයවර්ධන මහතා සහ රසිකා ජයවර්ධන මහත්මියගේ දියණිය, ටෙෂිනී ජයවර්ධන අභිෂේක ලැබීය. නාවික හමුදාධිපතිතුමන්ගේ බිරිඳ යමුණා විජේගුණරත්න මහත්මියගේ අතින් කිරුළු පැළඳි ඇයට ජය සංකේතාත්මක සළුව පළඳවන ලද්දේ ආරක්ෂක ලේකම්තුමන්ගේ සුරතිනි.