නාවික නිලධාරීන් 19 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් උපාධි ලබයි
 

සපුගස් කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 9 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ උපාධි ප්‍රදාන උත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී ඊයේ (17) පැවැත්වුණි.

එම උපාධි ප්‍රදානෝත්සවයේදී පාඨමාලාව හැදෑරූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 19 දෙනෙකු සිය උපාධි හිමි කරගන්නා ලදී. එහිදී සුවිශේෂී කුසලතාවයන් දැක්වූ කොමාණ්ඩර් ආර්එම්එල් රත්නතිලක Golden Owl සම්මානයෙන් පිදුම් ලැබීය. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල ඉතිහාසයේ නාවික නිලධාරියෙකු ප්‍රථම වරට ලබාගත් Golden Pen සම්මානය ලුතිනන් කොමාණ්ඩර් එස්කේ විදානගේ හිමි කර ගැනීමට සමත්විය.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඒපීජී කිත්සිරි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය.