මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිතවූ රණවිරුවන් නාවික තඨාකංගනයේදී සැමරේ

මව්බිම වෙනුවෙන් දිවිපිදූ සහ සටනේදී තුවාළ ලබා ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා සංවිධානය කෙරුණු වාර්ෂික සුහද හමුව දෙසැම්බර් මස 18 වන දින ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී පැවැත්විය. නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සුහද හමුව සඳහා ක්‍රියාන්විත රාජකාරියේදී ආබාධිතව විශ්‍රාම ගන්වා සිටින නාවික රණවිරු පවුල් 83 ක සාමාජිකයින් සහභාගී විය.

සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මාතෘ භූමියේ ස්වෛරීත්වය හා ඒකීයභාවය වෙනුවෙන් අභීතව සටන්වැද දිවිපුද කළ රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම සුහද හමුව ආරම්භ විය. එහිදී සෞඛ්‍ය වෛද්‍ය සායනයක් හා දන්ත වෛද්‍ය සායනයක්ද පැවැත්වුණ අතර, දරු දැරියන්ගේ විශේෂාංගයන්ගෙන් මැජික් සංදර්ෂණයකින් සහ සංගීතමය වැඩසටහනකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

පවුල්වල සාමාජිකයන් සඳහා මුහුදු චාරිකාවාරයක් සහ නාවික කෞතුකාගාරය නැරඹීමටද අවස්ථාව ලබා දුන් අතර, දරු දැරියන් වෙනුවෙන් විශේෂ විනෝදාත්මක අංගයන් රැසක් ද මෙම සුහද හමුව වෙනුවෙන් සංවිධානය කර තිබිණි. සියළුම පවුල්වල සාමාජිකයන්‍ගේ දූ දරුවන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ත්‍යාග සහ තිළිණපත් ප්‍රධානය කිරීමක්ද එහිදී සිදු කරන ලදී.