නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (21) උතුරු නාවික විධානයේ පරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

දඹකොලපටුන සංඝමිත්තා විහාරස්ථානය වැදපුදා ගැනීමෙන් අනතුරුව එතුමා කරෙයිනගර්හි පිහිටි ෆෝර්ට් හැමන්හිල් හෝටලයේදී නිලධාරීන් ඇමතූ අතර, ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනයේදී නාවිකයන් අමතන ලදී. ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ආරක්ෂක සහ ජාතික අරමුණු කරා ලගා වීම සඳහා නාවික හමුදා පුද්ගලයින් විසින් කරන ලද සේවයේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ එතුමා මුහුදේ සහ ගොඩබිමෙහි මෙහෙයුම් සූදානම් බව පවත්වාගැනීම සහ පැවරී ඇති අනෙකුත් රාජකාරීන් ඉටු කිරීම සදහා නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ කැපවීමද එහිදී ඇගයීමට ලක් කළේය.