නාවික හමුදාව මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් ස්ථාපනය කරයි
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රති ආශ්‍රැත ජල පද්ධතීන් දෙකක් අද (22) පූනෑව සහ කඩවත් රඹෑව යන ප්‍රදේශයන්හි ස්ථාපනය කරන ලදී. රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරුමැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද එම අවස්ථාව සඳහා සහභාගී විය.

එක් යන්ත්‍රයකින් දිනකට ජලය ලීටර් 10,000 ක් පමණ ලබා දිය හැකි ජල පිරිසිදු පද්ධතීන් යුගලය නාවික හමුචා සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ සැළසුම් කොට නිර්මාණය කරන ලද අතර, නිදන්ගත වකුගඩු රෝගය බහුල ලෙස වාර්තාවන එම ප්‍රදේශයේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලනු ලබයි. සිය පානීය ජලය පිළිබද මහත් අවධානයකින් පසුවන ප්‍රදේශයේ ජනතාවට නාවික හමුදා ප්‍රජා සත්කාරය මහත් අස්වැසිල්ලක් වනු ඇත. උතුරු මැද නාවික පෙදෙසෙහි ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට ඉමහත් කැපවීමකින් කටයුතු කරන උතුරුමැද නාවික විධානය ප්‍රජා අවශ්‍යතාවයේ වැදගත්කම සැලකිල්ලට ගෙන එම ජල පිරිසිදු පද්ධතීන් යුගලය ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කර දීමට සිය පූර්ණ සහාය ලබා දෙන ලදී.