දිනාගත් සාමය ආරක්ෂා කරගැනීමට සහ ජාතිය ගොඩනැගීම සඳහා කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

2016 වර්ෂයේ වැඩකටයුතු සුභ නැකතින් ආරම්භ කිරීම සනිටුහන් කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි. දිනාගත් සාමය ආරක්ෂා කරගැනීමට සහ ජාතිය ගොඩනැගීම සඳහා කැපවන බවට එහිදී සියලුම නාවික හමුදා සාමාජිකයින් ප්‍රතිඥා දීම සිදු කෙරිණි.

එම අවස්ථාවට සහභාගී වී සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමන් ලැබුවාවූ 2016 නව වසර වෙනුවෙන් සියලුම දෙනා හට සුභ පැතුම් එක් කරන බවත්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පසුගිය වසරේදී ලබාදුන් දායකත්වය හා කැපකිරීම් පැසසුමට ලක්කරන බවත් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම මෙම වසරේදීත් රටේ සංවර්ධනය හා උන්නතිය උදෙසා පැවරී ඇති රාජකාරීන් හා වගකීම් ඉතා කැපවීමෙන් යුතුව ඉටු කළ යුතු බවත්, ඒ සඳහා සියලුම දෙනාගේ සහයෝගීත්වය තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව/දිවුරුම

වර්ෂ දෙදහස් දහසයක් වූ ජනවාරි මස පළමු වැනි දිනය වන අද දින,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්‍ත්‍රික සමාජවාදී ජනරජය

ලක්වැසි ජනතා අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරන

නව වසරක සමාරම්භය සනිටුහන් කරයි.

    අදින් ඇරඹෙන නව වසරේ
    
    එකම රටක්, එකම දැයක් තුළ එක කොඩියක සෙවණේ

    එක්සත්ව හා එක්සිත්ව විකසිත වන මාතෘ භූමිය

    සංවර්ධනය කිරීමේ දැවැන්ත අභියෝගය ජයගැනීම සඳහාත්

    ශ්‍රී ලාංකික ජනතාවට නව ආර්ථික හා සමාජීය මංපෙත් විවර කරමින්

    අදට වඩා හොඳ හෙට දිනක් නිර්මාණය කිරීම සඳහාත්

    මහජන මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෙක් වන මම,

    රාජ්‍ය ප්‍රතිපත්ති හා අරමුණු ක්‍රියාත්මක කිරීමෙහිලා

    මා වෙත පැවරෙන්නා වූ කාර්යභාරය

        කාර්යක්ෂමව,

        සඵලදායීව,

        තිර අදිටනින් යුතුව,

        අවංකභාවයෙන්,

        මහජනතාවට පක්ෂපාතීව,

    සපුරා ඉටු කරන බවට ප්‍රතිඥා දෙමි/දිව්රුම් දෙමි.